...


පාළි භාෂාව යනු කුමක් ද?

0 comments


පාලි ඉගන ගන්න සිංහලෙන් 

   පාළි සාහිත්‍යය යි අදහස් කරනු ලබන්නේ ථෙරවාදීන්ගේ ත්‍රිපිටකය ද ඒවායේ අටුවා හා ටීකා ද, ඒවා අනුව ලියවුණු ධර්මසංග්‍රහ ග්‍රන්ථ ද බුද්ධචරිතාදී අන්‍ය ග්‍රන්ථ ද වෙති.


     "පාළි" යන වචනය මුල්කාලයේදී යොදා තිබෙන්නේ ත්‍රිපිටක ධර්මය හැඳින්වීම සඳහාය. විශුද්ධිමාර්ගයේ කම්මට්ඨාන ගහණ නිද්දේසයෙහි චර්යාවිභාගය දක්වන තැන "යස්මා පන ඉදං චරියාවිභාවනවිධානං සබ්බාකාරෙන නෙව පාළියං, න අට්ඨකථායං ආගතං, කෙවලං ආචරියමත්තානුසාරෙන වුත්තං, තස්මා න සාරතො පච්චෙතබ්බං (මේ ආචාර්යා විස්තර විභාගය යම් හෙයකින් පාළියෙහි හෝ අටුවාවෙහි හැම ආකාරයෙන් නො ආයේ ද, හුදෙක් ආචාර්යමත අනුගමනයයෙන් කියන ලද්දේ ද එබැවින් එය සාර වශයෙන් නොගත යුතුය)"  මෙතැන "පාළි" යන්නෙන් අදහස් කරන ලද්දේ (දැන් එනමින් වහරනු ලබන භාෂාව නොව) ත්‍රිපිටක දේශනාවයි. විශුද්ධිමාර්ගයෙහිම ඛන්ධනිද්දේසයෙහි "ඉමානි තාව පාළියං ආගතරූපානෙව, අට්ඨකථායම්පන බලරූපං .... මිද්ධරූපංති එවං අඤ්ඤානිපි රූපානි ආහරිත්වා...මිද්ධරූපං තාව නත්ථියෙවාති පටික්ඛිත්තං" යන තැන ද පාළි ශබ්දය යොදා තිබෙන්නේ ත්‍රිපිටකධර්මය සඳහා ය.

     මහාවංශයේ 37 වෙනි පරිච්ඡේදයෙහි බුද්ධඝෝෂාචාර්යයන්ගේ ප්‍රවෘත්ති දක්වන තැන එතුමාගේ ආචාර්යවරයා වූ රේවත මහතෙරුන් විසින් "පාළිමත්තං ඉධානීතං නත්ථි අට්ඨකථා ඉධ (පාළිය පමණක් මෙහි ගෙනෙන ලදී, අටුවා මෙහි නැත)" යි කී තැන ද ඒ ප්‍රවෘත්තියෙහිම "පාළිමහාභිධම්මස්ස අත්ථමස්ස න සො ධිගා" (=තෙරනම අභිධර්මපාඨයක් කීවේය. හෙතෙම අර්ථය අවබෝධ නොකළේය) යන තැන ද පාළි ශබ්දය යොදා තිබෙන්නේ ත්‍රිපිටකය සඳහා යි. භාෂාවක් සඳහා "පාළි" යන්න යොදා තිබෙන්නේ ඉතා මෑත කාලයකදී ය. අටුවාවල නොයෙක් තැන මේ සඳහා දකින්නට ලැබෙන්නේ "මාගධභාසා" යන්නයි.

   බුද්ධඝෝෂාචාර්යයන්ගේ සඟිඅටුවා සතරේම ආරම්භයේ දී කියා තිබෙන්නේ:- 
                                                 
                                                "අපනෙත්වාන තතො'හං සීහළභාසං මනොරමං භාසං
                                                  තන්තීනයානුච්ඡවිකං ආරොපෙන්තො විගතදොසං  "

    (=එහෙයින් මම මනෝඥ වූ සිංහල භාෂාව ඉවත් කොට ත්‍රිපිටක පාළියට යොග්‍ය වූ නිදොස් වූ භාෂාවට නගමින්)" යන්නයි. "පාලිභාෂාවට නගමින්" යයි එහි නො කියන ලදී. මෙසේ බුද්ධඝෝෂාචාර්යයෝ එයට පාළිභාෂාවය යි නොකියා ත්‍රිපිටක ක්‍රමයට ගැළපෙන භාෂාව යයි කීහ. "පාළිභාෂා" යන්නට පර්යාය වශයෙන් පවත්නා "තන්තිභාසා" යන වචනය වත් එතුමන් විසින් නොයොදන ලදී. නමුත් අන්‍යාචාර්යවරයෙකුගේ කෘතියක් වූ ධම්මපදට්ඨකථාවේ ආරම්භයෙහි:

                                                        ''තං භාසං අතිවිත්ථාරගතං ච වචනක්කමං
                                                        පහායාරොපයිත්වාන තන්තීභාසං මනොරමං''

(= ඒ සිංහල භාෂාවත් අධික විස්තරයත් වචන පිළිවෙළත් හැර මෙනෝඥ වූ තන්තීභාෂාවට නගා) යන්නෙන් එයට "තන්තිභාෂා" නාමය දෙන ලදී. ත්‍රිපිටකය ලියා තිබෙන්නේ මාගධ (=මගධදේශයට අයත්) භාෂාවෙන්ය යන්න අර්ථකථාචාර්යවරයන්ගේ මතයයි. විශුද්ධි මාර්ගයේ 14 වෙනි පරිච්ඡේදයෙහි නිරුක්තිපටිසම්භිදාව විස්තර කරන තැන "සභාවනිරුත්තියා මාගධිකාය සබ්බ සත්තානං මූලභාසාය පභෙදගතං ඤාණං නිරුත්තිපටිසම්භිදා" (= ස්වාභාවික නිරුක්තිය වූ, සියලු මනුෂ්‍යවර්ගයාගේ මුල් බස වූ, මාගධභාෂාවෙහි ප්‍රභේදගත ඥානය නිරුත්තිපටිසම්භිදා නම් වේ) යයි කියන ලදී. පිළිසිඹියා ලැබීමට හේතුවන කරුණු දැක්වෙන:
                                                
                                                    "පුබ්බයොගා බාහුසච්චං දෙසභාසා ච ආගමො"
    ආදී ගාථාවෙහි කියවෙන "දෙසභාසා" යන්න තෝරන බුද්ධඝෝෂාචාර්යතුමා "දෙසභාසා නාම එකසතවොහාරකුසලතා: විසෙසෙන පන මාගධිකෙ කොසල්ලං" (=දේසභාෂා නම් පන්සියයක් භාෂාවන්හි දක්ෂ බවයි; විශේෂයෙන් මාගධභාෂාවෙහි දක්ෂබවය) යි කීහ. මෙහිදී උපදින තවත් ප්‍රශ්නයක් නම් "මාගධභාෂාව ලෝකවාසීන්ගේ මුල්බස විය හැකි ද?" යන්නයි. අර්ථකථාචාර්යවරයේ එය එසේමයයි පිළිගත්හ. විභඞ්ගඅටුවාවේ පටිසම්භිදාවණ්ණනාවෙහි (272 වෙන පිට) මෙසේ කියන ලදී:- මවුපියවරු කුඩා දරුවන් ඇඳපුටු ආදියෙහි හොවා ඒ ඒ දේ කියාදෙමින් (හෙවත් කථාකරමින්) ඒ ඒ වැඩ කරත්. කුඩා දරුවෝ ඔවුන්ගේ වචන අසා භාෂාව උගනිත්. මව දෙමළ ස්ත්‍රයක් වී පියා ආන්ධ්‍රවර්ගියෙකු වුවොත් ඒ දෙදෙනාගේ සංවාසයෙන් උපන් දරුවාට පළමුවෙන් දෙමළබස අසන්නට ලැබෙන් නම් හෙතෙම දෙමළ ඉගෙන ගනී; ඉදින් පියාගේ කථාව පළමුවෙන් අසන්නේ නම් ආන්ධ්‍රභාෂාව ඉගෙන ගනී. ඒ දෙදෙනාගේම කථාව නොඅසන්නේ නම් මාගධ භාෂාව කථා කරයි. යමෙක් මහවනයෙහි උපන්නේ නම්, එහි කථා කරන අන්කිසිවෙක් නැත්නම්, හෙතෙම ස්වධර්මතාවයෙන් වචන උපදවන්නේ මාගධභාෂාවම කථා කරන්නේ ය. නරකයෙහි, තිරිසන්යෝනියෙහි, ප්‍රේතලෝකයෙහි, දෙව්ලොවෙහි යන හැම තැනම මාගධභාෂාව උත්සන්නව පවතී. අන්‍ය වූ ඔට්ට, කිරාත, අන්ධක, යෝනක, දෙමළ ආදී අටළොස් භාෂාවෝ පෙරළෙති. (හෙවත් කාලාන්තරයේ දී වෙනස් වෙති.) මේ යථාභූත ආර්යබ්‍රහ්ම ව්‍යවහාරය යයි කියන ලද බුද්ධවචනය පෙළමට නගන්නේ මාගධභාෂාවෙන්ම නැගීය. කවර හෙයින් ද? අර්ථය ගෙනහැර දැක්වීම පහසු බැවිනි. මාගධභාෂාවෙන් පෙළට නැගූ බුද්ධවචනය පිළිසිඹියාපත් පුද්ගලයන්ගේ කනේ ගැටුණු විගස ඔවුන්ට එය ක්‍රමසියයෙන් ක්‍රමදහසෙන් වැටහේ. අන්බසකින් පිළියෙළ කළ ධර්මය අසා තළා තළා (=අපහසුවෙන්) උගතයුතු වෙයි. 
        
        මේ කීම පිළිගත හැකි දැයි සොයා බලමු. වනයෙහි මංමුළා වූ හෝ කුඩාකල කෙසේ නමුත් තිරිසන් සතුන් මධ්‍යයට පැමිණි මිනිස් දරුවෙකුට මිනිස්බසක් නොඇසෙන බැවින් ඔහුට මාගධ භාෂාව ඉබේම පුරුදු වේ යයි මෙහි කියන ලදී. එය කිසිකලකත් සිදු නොවන්නකි. එසේ වනගත වූ මිනිස් දරුවන් කීපදෙනෙකුන් ගැන කීප වරක් අපට තොරතුරු අසන්ට ලැබුණි. ඔවුන්ට මොනම මිනිස් බසක්වත් කථා කළ නොහැකි විය. වෘකයන් රංචුවකට අසු වී ඇතිදැඩි වූ ළමයාට වෘක්කයන් මෙන් කෑගසන්ට හැකිවිය; උන් මෙන් ඉක්මනට දිවිය හැකි විය. ඒ දිවිමී කකුල් දෙකෙන් පමණක් නොව හතරගාතයෙනි. ඔහුට මිනිසුන්ගේ කෑම පුරුදු කරන ලද්දේ ඉතා අමාරුවෙනි. මිනිසුන්ගේ ඇඳුම් හා වාසස්ථාන ඔහුට ප්‍රිය නොවූහ. මුවරැලකට අසුවී විසූ මිනිස් දරුවෙක් මුවන්ගේ තණකොළ කන්ට පුරුදු වී සිටියේ ය. මිශ්‍ර විවාහයක් වී නම් දරුවාට පුරුදු වන්නේ මවගේ බසයි. මවගෙන් වෙන්කර කිරිමවුන්ට බාරදුනහොත් ඔහු ඉගෙන ගන්නේ ඒ කිරිමවුන් කථා කරන භාෂාවයි.

    
තිරිසනුන් අතරේ අදහස් හුවමාරු කරගන්නා පිළිවෙළවල් ඇති නමුත් ඔවුනතර ව්‍යක්ත භාෂාවක් නැති බව කවුරුත් දනිති. නමුත් මේ අටුවාවෙහි තිරිසන් ලෝකයෙහිත් මාගධභාෂාව අධිකව පවතීයයි කියා තිබේ. ප්‍රේතලෝක-දේවලෝකයන් ගැන තොරතුරු දැනගැන්මට අපට මගක් නැත. නමුත් දෛවීභාෂා (=දෙවියන්ගේ භාෂාව) යන නම් ලැබී තිබෙන්නේ සංස්කෘතයටය. එයද තමන් ගරු කරන භාෂාව උසස්කර ගැනීමට ගෙතූ අසත්‍යයක් විය හැක. පෙර කල 'දේව' නාමයෙන් ප්‍රකට වූවෝ ආර්යයයෝ ය; ආර්යයන්ගේ බසට ''දෛවීභාෂා'' යයි කිය හැක. සංස්කෘතයේ මුල ඒ වෛදිකභාෂාව බැවින් එයට දෛවීභාෂා යයි කීමේ තේරුමක් තිබේ. මාගධභාෂාව අන්‍යභාෂා මෙන් වෙනස් නොවේ යයි කීම ද පිළිගත නොහැක. ලෝකයේ පවත්නා හැම දෙයම අනිත්‍යයයි කියන බෞද්ධයන්ම මෙසේ කීම පුදුමයකි. හැබැයි, ව්‍යවහාරයෙන් තොර වූ බසක් ග්‍රන්ථාරූඪ වූ කල්හි එය බොහෝ කලකට වෙනස් නොවෙයි. පාළි සංස්කෘත භාෂා දෙකම දැන් ව්‍යවහාරයෙන් තොර බැවින් අවුරුදු දහස් ගණනක් වෙනස් නොවී පවතී. අටුවාවෙහි මේ අර්ථය සලකා එසේ කියන ලද නම් එය තරමක් දුරට පිළිගත හැක. එහෙත් ව්‍යවහාරයෙන් තොරවූ මාගධියට පමණක් ඒ විශේෂය ලැබිය නොහැකි ය.
    
        මාගධ යන වචනයෙන් ම එය ප්‍ර‍දේශයකට අයත් බව ඔප්පු වේ. එසේ ප්‍රදේශයයකට අයත් දේශීය භාෂාවක් හැම දෙනට සාධාරණ මූලභාෂාවක් විය හැක්කේ කෙසේ ද? බුද්ධ කාලයේ දී දඹදිව සියයකට වැඩිතරම් භාෂා තිබුණ බව බුද්ධඝෝෂාචාර්යයන්ගේ "දේසභාසා නාම එකසතවොහාර කුසලතා" යන වචන වලින් ඔප්පු වේ. මාගධය ද එයින් එක් බසකි. එය පමණක් මූළභාෂාව විය හැක්කේ කෙසේ ද යන්නට උත්තරයක් ඒ පොත්වලින් නොලැබේ. ගයිගර් පඬිතුමා කියන්නේ එය (මෙකල ඉංග්‍රීසි බස මෙන්) එකල දඹදිව නානා දේශවාසීන්ගේ අදහස් හුවමාරුව සඳහා පැවති සාධාරණ භාෂාවක් විය යන්නයි. ඒ කීම නම් පිළිගත හැක. එය තිරිසනුන්ට පවා සාධාරණවූවක් ය යන්න පිළිගැනීමට හේතු සාධක නැත. 
    

                මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුනු දැනගැනීම සඳහා බෞද්ධ සාහිත්‍යය නමැති පොතේ 7 වෙනි පරිච්ඡේදය කියවීම වටී. එහි මෙසේ කියා තිබේ: "පාලිභාෂාව සකුවට වඩා පැරණියයි සිතූ ආචාර්යවරයෝ ඒ මතය අතිශයෝක්තියකට නගමින් ලෝකයේ ආදිතම භාෂාව පාලිය (මාගධිය) යි කියූහ." ආදිම භාෂාව කුමක්දැයි තවම සොයාගෙන නැතැයි කීම සත්‍යයයට වඩා ළංවනු ඇත. එහෙත් පාළිය අර්ධමාගධී ආදීප්‍රාකෘත භාෂාවලට වඩා පැරණියි. වේදභාෂාවත් පාළියත් මුල්ම ප්‍රාකෘත භාෂාවක අතු දෙකකි.
    

        තවද, "අනුජානාමි භික්ඛවෙ සකාය නිරුත්තියා බුද්ධවචනං පරියාපුණිතුං" "(= මහණෙනි, සියබසින් බුද්ධවචනය ඉගෙන ගන්නට අනුදනිමි.)" යන විනය පිටකයේ සුළුවගපෙළේ ඛුද්දකවත්ථුක්ඛන්ධකයෙහි පෙනෙන වාක්‍යය විස්තර කරන බුද්ධඝෝෂාචාර්යතුමා සකාය නිරුත්තියා = සිය බසින් = ස්වකීය භාෂාවෙන් යන්නට "එත්ථ සකා නිරුත්ති නාම සම්බුද්ධෙන වුත්තප්පකාරො මාගධිකො වොහාරො" යි ස්වභාෂාව හෙවත් ස්වකීය නිරුත්තිය නම් මාගධික භාෂාව යයි නිශ්චය කරයි. බුදුරද මගධයෙහි උපන්නෙක් නොවේ. එතුමා උපන්නේ ශාක්‍ය ජනපදය කෝශලරාජ්‍යයට යටත් රටක්ව පැවතුණි. (කොසොල් රජ ශාක්‍ය කුමරියක් විවහා කරගත්තේත් මේ සම්බන්ධය නිසා විය හැක.) බිම්සර රජු බෝධිසත්ව තාපසයන්ගෙන් ජන්මභූමිය ගැන ඇසූ විට බෝසත්තෙමේ:-
                                           
                                            " උජුං ජනපදො රාජ, හිමවන්තස්ස පස්සතො
                                      ධනවිරියෙන සම්පන්නො, කොසලෙසු නිකෙතිනො

                                       ආදිච්චා නාම ගොත්තෙන සාකියා නාම ජාතියා

                                  තම්හා කුලා පබ්බජිතොම්හි රාජ, න කාමෙ අභිපත්ථයං" 
    
    (= "මහරජ, මේ කෙළින් හිමාලය පර්වතපාර්ශ්වයෙහි ධන බලයෙන් යුක්ත වූ ජනපදයක් වේ; කොසොල් ජනපද වාසීන් කෙරෙහි ඇතුළත් වූ ආදිත්‍යගෝත්‍ර ඇති ශාක්‍යජාති ඇති මිනිස්සු එහි වෙසෙත්. මහරජ, මම කාමසම්පත් නොකැමැත්තේ ඒ කුලයෙන් පැවිදිවීමි)"යි කීය. (මෙය සුත්තනිපාතයේ පබ්බජ්ජා සූත්‍රෙයනි.) මේ කීමේ මගධරජ රජුටය. සිදුහත් කුමරා මාගධිකයෙක් වී නම් "මහරජ, මම ඔබගේ රාජ්‍ය වාසියෙක් වෙමි"යි පහසුවෙන්ම හඳුන්වා දෙන්ට තිබිණි. මෙය අනුව බලන විට බුදුරදුගේ සියබස මාගධිය නොව කෝශලභාෂාවයි. පාළි මහා ශබ්දකෝෂය සම්පාදනය කළ රීස් ඩේවිඩ්ස් පඬිතුමා කියන්නේ පාළිය කෝශලරාජ්‍යයන්හි අන්‍යොන්‍ය ගනුදෙනු සඳහා පැවති රාජ්‍ය භාෂාව වීය යන්නයි. ඒ කීම නම් තරමක් දුරට පිළිගත හැක. ශාක්‍ය ජනපදය මගධය හා කිසිසේත් සම්බන්ධ නොවූ බවත් ධර්මාශෝක කාලයෙන් පෙර එය කිසිවිටක මගධයට යටත් නොවූ බවත් ඉතිහාසයෙන් පැහැදිලි ය. එසේ තිබියදීත් අපේ මහාපණ්ඩිත සභාව වූ ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් පණ්ඩිතොපාධි ප්‍රදානය සඳහා සම්මත වූ පොතක බුදුරද මගධයෙහි උපන්නේ යයි ස්ථිරලෙසම දක්වා තිබේ. "පාලිභාසා" නමැති පොතේ 30 වෙනි පිටෙහි; "මගධෙසු භවො, මගධානං ඉස්සරො" යන වාක්‍යයෙන් මගධ දේශයෙහි උපන්නේ ය යන අර්ථයෙන් ද මගධදේශස්ථානයන්ගේ ශ්‍රේෂ්ඨයා යන අර්ථයෙන් ද මාගධ යනු සර්වඥයන් වහන්සේට ද නමක් වේ. එහෙයින් මාගධ නම් වූ සර්වඥයන් වහන්සේගේ භාෂාව යන අර්ථයෙන් ද මාගධියයි කිය හැක්කේ ය" යන වාක්‍යයෙන් පෙනේ. එහිම 51 වෙනි "සිද්ධාර්ථ කුමාරයන් ද දෙව්ලොව සිට බලමින් ඉතාම උසස් වූත් ආර්යයයන්ගේ ජන්මභූමියවූත් ඓශ්වර්යයෙන් අනූන වූත් මේ මගධ රටම තෝරා ගන්නා ලද්දේ ඒ නිසාය යනු විවාද රහිතය," යන වාක්‍යයෙන් පෙනේ. මගධරටට තරමක් දුරින් පිහිටි ශාක්‍ය ජනපදයෙහි සිද්ධාර්ථ කුමරා උපන් බව හැම බුද්ධචරිතයකම හැම අටුවාවකම කියවෙද්දී එතුමා මගධරටේ උපන්නේයයි කීම විවාද රහිත එකක් යයි මේ පඬිවරුන් කියන බැවින් මේ ගැන කිසිවක් මෙහි ලිවීම කාලය නිකරුණේ ගත කිරීමක් වන්නේ යැයි සිතමි. 
    
        අපේ පඬිවරු පමණක් නොව ඇතැම් අර්ථකථාචාර්යවරුත් මෙවැනි පැටලිලි කර තිබෙන බව පෙනේ. විනය අටුවාවෙහි පඨමපාරාජිකවණ්ණනාවෙහි (හේවාවිතාරණ පොත 182) "තත්ථ අරියකං නාම අරියවොහාරො; මගධභාසා. මිලක්ඛං නාම යො කොචි අනරියකො අන්ධදමිළාදි" යන වාක්‍යයෙන් ආර්යව්‍යවහාරය නම් මාගධභාෂාව යයි කියන ලදී. මාගධය පමණක් ආර්යභාෂාව වීය යන්න එය මූලභාෂාව වීය යන්න වැනිම දුර්මතයකැයි සිතමි. මාගධිය ආර්යභාෂාවලින් එකක් වී යයි කියන ලද නම් එයට විරුද්ධ වීමට කරුණක් නැත. මගධරට ආර්යයන්ගේ උසස් භූමියකැයි මෙහි කියවෙන නමුත් කලිකතා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වූ නලිනාක්ෂදත්ත මහතා කියන්නේ මගධයෙහි බ්‍රාහ්මණබලය හීනව පැවති බැවින් බුදුරද එය ස්වධර්මප්‍රචාරය සඳහා තෝරාගත් බවයි. ඒ මහතා ලියූ "බෞද්ධාගම පැතිරයාමේ ඉතිහාසය" නමැති පොතේ දෙවනි පරිච්ඡේදයෙහි මෙසේ කියා තිබේ:- ග්‍රියර්සන් ඕල්ඩන්බර්ග් ආදී පඬිවරු ආර්යයන්ගේ කොටස් දෙකක් බොහෝ දුරවූ කාල දෙකකදී ඉන්දියාවට සංක්‍රමණය වූහයි කියත්. එයින් එක් කොටසක් වර්තමාන දිල්ලියට උතුරෙන් පිහිටි කුරු - පඤ්චාල රටවල වාසග්‍රහණය කෙළේ ය. පසුව පැමිණි අනික් කොටස මධ්‍යෙද්ශය අවට නැගෙනහිර - බටහිර - දකුණ යන දිශාවන්හි පිහිටි රටවල වාසග්‍රහණය කෙළේ ය. කල් යත් යත් ඔවුන්ගේ සිරිත් විරිත් භාෂාදියෙහි වෙනස් ඇති විය. බ්‍රාහ්මණයන්ගේ මධ්‍යදේශය වූ කුරුපඤ්චාල රටවල ඔවුන්ගේ බලය අධිකවිය; ඔවුහු තමන්ගේ සිරිත් විරිත් නොකඩ කොට රැකගත්හ. මධ්‍යදේශය අවට දුර ප්‍රමාණය සලකා අසුවල් සීමාවෙන් පිට යාගහෝමාදිය පැවැත්වීමට යොග්‍ය නැත යන නියමයක් ඇති කළ හ. ඔවුන්ගේ ඒ සීමාවලින් එකක් නම් සදානීර නදියයි. එය පිහිටියේ මගධයට බටහිර දෙසිනි. එබැවින් මගධය යාගාදියට අයොග්‍ය දේශයක් සේ ඔවුන් විසින් සලකන ලදී. එහිත් ස්වල්ප වශයෙන් බ්‍රාහ්මණයන් විසූ නමුත් ඔවුන්ගේ අධික බලපෑමක් එහි නොවීය. ඒ කාරණය නිසාම ෂට්ශාස්තෘවරාදී නානාමතධාරීහු එරටෙහි ස්ව - ස්ව - ධර්මයන් පැතිරවීමට උත්සාහ ගත්හ." 

        කුරුරට ප්‍රඥාවත් මිනිසුන්ගෙන් පිරී පැවැත්තේ යයි සතිපට්ඨාන සූත්‍රයේ අටුවාව කියයි. එවැනි උගතුන් ඇති රටට බුදුරද දෙතුන් ගමනකට වඩා නොවැඩියේ යම්කිසි හේතුවක් නිසා විය යුතුය. ඒ හේතුව නම් බ්‍රාහ්මණ බලය එහි අධික ලෙස පැවතීම බව දැන් පැහැදිලි විය. එසේම උසස් බ්‍රාහ්මණවංශය පැවැත්තේ යටකී උතුරු පෙදෙසෙහි බව "උදිච්චබ්‍රාහ්මණකුලෙ" යන වචනයෙන් ඔප්පු වේ. "උදිච්චබ්‍රාහ්මණ කුලය" නම් උතුරු පෙදෙසෙහි වූ බමුණු පරම්පරාවයි. උතුරු පරම්පරාවෙන් පැවතෙන බ්‍රාහ්මණයන් උසස් කුලවතුන් සේ සැලකීම සකල භාරතයේම පුරුද්ද විය. 

         "සකා නිරුත්ති" - ස්වකීය නිරුත්තිය නම් මාගධ භාෂාවයයි බුද්ධඝෝෂාචාර්යයන් කී බව යට දක්වන ලදී. ඒ ස්ථානයෙහි එසේ කීම ගැළපේදැයි විමසා බැලිය යුතු ය. බුදුරදුන් විසින් "සියබසින් බුද්ධවචනය උගත යුතුය" යන නියමය කරන ලද්දේ මතු දැක්වෙන සිද්ධිය නිසාය. බ්‍රාහ්මණ වංශික සොහොයුරෝ දෙදෙනෙක් බුදුසස්නෙහි පැවිදිව යමෙළු තෙලුක යන නම් ඇතුව සිටියාහ. ඔවුහු ශබ්දශාස්ත්‍රයෙහිත් වාක්‍යරචනාවෙහිත් දක්ෂ වූහ. එක්දිනක් ඒ දෙදෙනා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක හිඳ බුදුරදුන්ට මෙසේ කීහ: "ස්වාමීනි, මෙකල නොයෙක් නම් ඇති, නොයෙක් ගෝත්‍ර ඇති, නොයෙක් ජාති ඇති, නොයෙක් කුලවලින් පැවිදි වූ භික්ෂූහු ස්වකීය - භාෂාවලින් බුද්ධවචනය කෙලෙසත්. එබැවින්, ස්වාමීනි, අපි බුද්ධවචනය වේදභාෂාවට නගන්නෙමු"යි. බුදුරද ඔවුන්ට ගර්හා කළේ ය. "හිස් පුරුෂයෝ වූ තෙපි කුමක් හෙයින් මෙසේ කියව්ද? මහණෙනි, බුද්ධවචනය ඡන්දසයට හෙවත් වෛදික භාෂාවට නොනැගිය යුතුය. යමෙක් නගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ. මහණෙනි, ස්වකීය භාෂාවෙන් බුද්ධවචනය ඉගෙන ගන්නට අනුදනිමි"යි උන්වහන්සේ වදාළ හ. (මේ කථාව විනය චුල්ලවග්ගපාළියෙහි එයි.) 

        මෙහි "ස්වකීය භාෂාවෙනැ"යි කියන ලද්දේ එක් භාෂාවක් ගැ නොවේ. යම් භික්ෂුවකට යම් භාෂාවක් අයත් නම් ඒ ස්වකීය - ස්වකීය භාෂාවෙන් බුද්ධ වචනය උගත යුතුය; එය වේදය මෙන් ගූඪභාෂාවකට නගා එක් පිරිසකට පමණක් සීමාකළ යුතු නොවේය යන්න බුදුරදුන්ගේ අදහසයි. නමුත් අර්ථකථාචාර්යතුමා මේ "ස්වකීය භාෂාව" නම් මාගධිය යයි ඔප්පුකිරීමට තැත්කර තිබේ. මාගධිය බුදුරදුන්ගේවත් ස්වකීය භාෂාව නොවන බව මා විසින් පෙන්වා දෙන ලදී. එයට තවත් සාධක ඕනෑනම් මැඳුම් සඟියේ ධම්මචෙතියසූත්‍රය බලනු මැනවි. එහි මෙසේ කියවේ: "පුන ච පරං භන්තෙ, භගවාපි ඛත්තියො, අහම්පි ඛත්තියො. භගවාපි කොසලකො, අහම්පි කොසලකො, භගවාපි ආසීතිකො, අහම්පි ආසීතිකො" (= තවද ස්වාමීනි, භාග්‍යවත්තෙමේ ද ක්ෂත්‍රියයෙකි, මම ද ක්ෂත්‍රියයෙක් වෙමි; භාග්‍යවත් තෙමේ ද කෝශලිකයෙකි. හෙවත් කොසොල් රට උපන්නෙකි;  මම ද කොසොල් රට උපන්නෙක් වෙමි; භාග්‍යවත් තෙමේ ද අසූවයස් ඇත්තේ ය, මම ද අසූවස් ඇත්තේ වෙමි.) මෙසේ කීවේ ප්‍රසෙනජිත් කොසොල් රජය. ( මේ කොසොල් රජු බුදුන් දැකීමට ගිය අන්තිම ගමනය.) මේ ගමනේදී දීඝකාරායන සෙන්පතියා රජු හැරදමා රාජකකුධභාණ්ඩයන් ගෙනගොස් විඩූඩභ කුමරුට රාජ්‍ය පැවරීය. කොසොල් රජ අනාථව රජගහනුවරට ගොස් එහි ශාලාවක දී මළේ ය. මේ සූත්‍රයෙන් ඔප්පු වෙන ඓතිහාසික කරුණු දෙකක් නම් අප බුදුරද කොසොල් රටට යටත් රටක වැසියෙකු බව හා කොසොල් රජු හා සමාන වයස් ඇත්කෙු බවයි. ත්‍රිපිටකපාළියෙන්ම බුදුරදුන් මාගධියකු නොවන බවට සාධක තිබෙද්දී අර්ථකථාචාර්යයන් කීවත් ඒ කීම පිළිගැනීමට යුතුකමක් අපට නැත. උන්වහන්සේ පළමුකොට මාගධයෙහි ධර්මප්‍රචාරය පටන්ගත් බව සැබෑය. එයට හේතුව එහි බමුණු බලය දුර්වලව තිබීම බව මා විසින් පෙන්වන ලදී. බුදුරදුන්ගේ පිරිනිවන්පෑම ඉතා ළං වූ අසූ හැවිරිදි කල්හිත් එතුමා මාගධිකයකුසේ පෙනී නොසිටි බවත් කෝශලිකයකු සේ පෙනී සිටි බවත් මේ සූත්‍රෙයන් ඉතා පැහැදිලි ය. 
        බුද්ධකාලයේදී කෝශලදේශයෙහි පැවති භාෂාවේ තත්වය දැන ගැනීමට අපට ලැබී තිබෙන ඉතා වැදගත් ලිපියක් නම් සැවැත්නුවර ජේතවනාරාමයේ නෂ්ටාවශේෂයන් අතරින් ලැබුණු ශිලාලිපියකි. අභාවප්‍රාප්ත ඩී.ඊ. වික්‍රමසූරිය මහතා විසින් පාටලීපුත්‍ර නගරයේ කෞතුකාගාරයෙන් පිටපත් කරගෙන "ශිලාලේඛන සංග්‍රහ" නමැති පොතේ පළ කරවූ ඒ ලිපිය මෙසේ ය:- 

                                        "ජෙතවණං අනාථපිණ්ඩිකෙන කොටිසංථතෙන දෙති ඛෙමා"

         මෙහි පෙනෙන භාෂාව මාගධියට වඩා පාළියට ළංව තිබේ. මෙහි අන්තයෙහි තිබෙන ඛෙමා යන්න එසේම දැයි කැස කටයුතුය; එය තේරුම් ගැනීට ද අපහසු ය. ඉතිරි වචන හතර වෙනසක් නොකරම පාළිබසට ගත හැක. ශාක්‍ය ජනපදයේ කපිලවස්තු සමීපයෙහි වූ පුරාණ ස්තූපයකින් ලැබුණු ගල් කරඬුවක වටේ බ්‍රාහ්මී අකුරුවලින් කොටා තිබුණ ශිලාලිපිය බුද්ධකාලයේ පැවති එරට භාෂාවේ තත්වය යන්තමින් දැනගැනීමට උපකාර වේ. එය මෙසේ ය:- 
               
                     "ඉයං සලිලනිධනෙ ඛුදස භගවතො සකියානං සුකිතිගතානං සභගිනිකානං සපුතදලනං" 

         භාග්‍යවත් බුදුරජාණන්ගේ මේ ශරීර (ධාතු) නිධානය මනා භක්ති ඇති සහෝදරියන් හා පුත්‍රදාරාවන් සහිත ශාක්‍යයන්ගේ ය යන තේරුම එයින් ලැබේ. මෙය කෝශලීය භාෂාවට වඩා මාගධීය භාෂාවට නෑකම් ඇත්තා සේ පෙනේ. ර - ක ර ලකාර බවට පැමිණීමත් ප්‍රථමා එකවචන එකාරාන්තව සිටීමත් එහි පෙනේ. (මෙය ද යථෝක්ත ශිලා ලේඛන සංග්‍රහයෙන් ගන්නා ලදී.) 
   
        ක්‍රිස්තු භක්තිකයෝ තමන්ගේ බයිබලය මුල දී ලියා තිබුණු හේබ්‍රෑ භාෂාව ලෝකයේ මුල්බසයයි කීහ. මහමදිකයෝ කුරාන්පොත ලියා තිබෙන භාෂාව මුල්බසයයි කීහ. වෛදිකයෝ වේද භාෂාව මුල්බසයයි කීහ. බෞද්ධයන් මාගධිය මුල්බසය කීමත් එවැනි එකකි. මෙකල පවත්නා භාෂාවලින් වෛදික භාෂාව ඉතා පැරණිය. නමුත් එය පවා ලෝකවාසීන්ගේ මුල්බස වී යයි කෙසේ කිය හැකි ද? ලිපි ශාස්ත්‍රය මිනිසුන් විසින් නිපදවන ලද්දේ මින් අවුරුදු පන් දහසකට හෝ හයදහසකට පමණ පෙරදීය. භාෂාව ව්‍යවහාරය ඊට බොහෝ කලකට පෙර සිට පැවැත්තේ ය. අපට දැන් දැනගත හැක්කේ යම් භාෂාවක් යම් කලක ලේඛනගත වී නම් ඒ කාලයේ හෝ ඉන් මෙහා පැවති භාෂාතත්වයක් පමණය. ලේඛනගත කිරීමට පෙර අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ඒ බස කොයි කොයි ආකාරයෙන් වෙනස් වෙමින් පැවැත්තේ යැයි දැන ගැනීමට මගක් නැත. එ බැවින් ලෝකයේ මුල් බස සෙවීම සංසාරයේ මල සෙවීම මෙන් නො කළ හැකි වැඩකි; නිෂ්ඵල ක්‍රියාවකි. 
     
    මීළඟට විමසිය යුත්තේ බුද්ධ ධර්මය ලියවී තිබෙන භාෂාව මගධයේ භාෂාව වී ද යන්නයි. "නිගණ්ඨනාථපුත්ත" යයි අපේ පොත්වල දැක්වෙන ඥාතපුත - මහාවීර නමැති ජෛන ශාස්තෘවරයා අපගේ ගෞතම බුදුරදුන් සේම ක්ෂත්‍රියවංශයෙහි උපන්, ශරීර ලක්ෂණවලින් ද බොහෝ සේ බුදුරදුන්ට සමාන වූ මේ ශාස්තෘවරයාගේ ආගම ජෛනාගම යන නමින් පවතී. ඒ ආගමෙහිත් බෞද්ධාගම හා බොහෝ සමානකම් ඇත. එතුමා ධර්මප්‍රචාරය කරමින් ඇවිද්දේත් බොහෝසේම මගධ - වජ්ජි - මල්ලාදීන්ගේ දේශවලය. එතුමාගේ දේහත්‍යාගය සිදු වූයේ අප බුදුරදුන් පිරිනිවීමට අවුරුදු දෙකතුනකට පෙර කුසිනාරාවට නුදුරු පාවානුවර දී ය. එතුමාගේ ධර්මය ලියවී තිබෙන්නේ ආර්ෂමාගධී හෙවත් අර්ධමාගධී බසිනි. මෙය මගධය හා සම්බන්ධ කම් ඇති භාෂාවකි. එබැවින් අපේ පාළිභාෂාවේත් එය හා ඉතා ළං වූ සම්බන්ධයක් ඇතිවිය යුතුය. එසේ ළං වූ සම්බන්ධයක් ඇද්දැයි සෙවීම සඳහා ජෛනයන්ගේ ප්‍රධාන සූත්‍රයක් වූ (ආයාරඞ්ග=) ආචාරඞ්ග සූත්‍රයෙන් පාඨයක් ගෙනහැර දක්වමි:- 

    "කම්මා ඛලු අයං පුරිසෙ ජො ඉමාඔ දිසාඔ අනුසංවරඉ සබ්බාඔ දිසාඔ අනුදිසාඔ සාහෙති අණෙ ගරූවාඔ ජොණීඔ සංධෙඉ විරූවරූවෙ ඵාසෙ පඩිසංවෙදෙඉ, තත්ථ ඛලු භගවතා පරිණ්ණාපවෙඉයා ඉමස්ස චෙව ජීවයස්ස පරිවංදණ - මාණ්ණ - පූයණාය, ජාඉ - මරණ - මොයණාය" 

    මේ භාෂාවේ අපේ පාළිය හා යන්තම් සමානකමක් මිස ළං වූ සම්බන්ධයක් නො පෙනේ. මේ අර්ධමාගධියෙහි ද මාගධභාෂාව හා වෙනස් තැන් ඇත්තේ ය. ධර්මාශෝකාධිරාජයන්ගේ ශිලාලිපි බොහෝමයක ඇතුළත්ව තිබෙන්නේ දේශීය මාගධීභාෂාවයි. එහි විශේෂ ලක්ෂණ වශයෙන් පෙනෙන්නේ සියලු ර - කාරයන් ල - කාර බවට පැමිණීම, ප්‍රථමා - ඒකවචනය ඒකාරාන්තව සිටීම ආදියයි. භාබ්‍රෑ ලිපිය යි කියනු ලබන අශෝක ලිපියෙහි රාහුලොවාද යන්න ලියා තිබෙන්නේ ලාඝුලොවාදෙ වශයෙනි. නිග්‍රිවස්තම්භ ලිපියෙහි දෙවානං පියෙන පියදසින ලාජින චොදසවසාහිසිතෙන බුද්ධස කොනාකමනස ථුවෙ දුතිය වඪිතෙ යන්න පෙනේ. මෙය අපේ පාළියට පෙරළුවහොත් මෙසේ ය:- "දෙවානං පියෙන පියදස්සිනා රාජෙන චුද්දසවස්සාභිසිත්තෙන බුද්ධස්ස කොනාගමනස්ස ථූපො දුතියං වඩ්ඪිතො" මේ දෙක ගළපා බලන විට මාගධියෙහි ද්විත්ව අකුරු බොහෝ සේ අඩුබව පෙනේ. "චුද්දසවස්සාභිසිත්තෙන" යන තැන තිබෙන සංයුක්තාක්ෂර කිසිවක් මාගධියෙහි නැත "ථුවෙ, වඩ්ඪිතෙ" යන දෙතැන්හි ප්‍රථමා ඒකවචනය ඒකාරාන්තව පෙනේ. අපේ රතනසූත්‍රයෙහි "වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ" යන තැන පෙනෙන්නේත් මේ ඒකාරාන්ත රූපයයි. දික්සඟියේ සාමඤ්ඤඵල සූත්‍රාදියෙහි අන්‍යතීර්ථඞ්කරයන්ගේ කීම් වශයෙන් දක්වා තිබෙන "දොණමිතෙ සුඛදුක්ඛෙ පරියන්තකතෙ සංසාර, නත්ථිභායන - වඩ්ඪනෙ, නත්ථි උක්කංසාවකංසෙ, වීසෙඉන්ද්‍රිය සතෙ, තිංසෙ නිරයසතෙ, එකූනපඤ්ඤාස ආජීවකසතෙ, නත්ථි අත්තකාරෙ, නත්ථි පරකාරෙ, නත්ථි පුරිසකාරෙ" යනාදීහු ද මේ මාගධ රීතිය අනුගමනය කළ පාඨ වෙති.

පාළිය පිළිබඳ පඬිවරුන්ගේ මත. 


    මැක්ස් වැලේසර් (Max Walleser) පඬිතුමා පාළි - ශබ්දය "පාටලී" ශබ්දයෙන් බිඳී ආයේ යයි ද එය පාටලිපුත්‍ර නගරයේ භාෂා වී යයි ද කීය. ඊ.ජේ. තෝමස් මහාචාර්යවරයා ආදි බොහෝ පඬිවරු එය ප්‍රතික්ෂේප කළහ. ප්‍රථම පාළි ඉංග්‍රීසි අකාරාදිය සම්පාදනය කළ ආර්. සී. චිල්ඩර්ස් පඬිතුමා එය එකල මිනිසුන් අතර ව්‍යවහාරයෙහි පැවති භාෂාවකැයි කීය. ජේමිස් අල්විස් (සිංහල) පඬිතුමා එය මගධදේශවාසීන්ගේ ව්‍යවහාර භාෂාව වී යයි ද එබැවින් "මාගධි භාෂා" යයි කීම පාළි භාෂාව යයි කීමට වඩා ගැළපේ යයි ද කීය. ජර්මන් ජාතික එච්. ඕල්ඩන් බර්ග් පඬිතුමා පාළිය කලිඟු රටෙන් ලක්දිවට ගෙනා බසකැයි කීය. පාළිභාෂාවේ උත්පත්තිස්ථානය වින්ධ්‍යාකඳුවැටියෙන් උතුරෙහි නොව එයින් දකුණෙහි සෙවිය යුතු යයි ද ඒ මහතා කීය. සර් ජෝර්ජ් ග්‍රයර්සන් (Grirrson) මහතා පාළි සාහිත්‍යයේ භාෂාව මාගධී යයි කීය. වින්ටර්නීට්ස් පඬිතුමා පාළිභාෂාව බෞද්ධයන්ගේ සාහිත්‍ය භාෂාව වී යයි ද එය භාෂා කීපයකගේ සම්මිශ්‍රණයෙන් ඇති වුවත් එය හා වැඩි සම්බන්ධයක් මාගධියෙහි ඇති බැවින් එයට "මාගධී භාෂා" යයි කීමෙහි සත්‍යයක් ඇතැයි කීය. 

        වැස්ටර්ගාඩ් (Westergaard) කුන් (Kuhn) යන පඬිවරු මහින්දමහතෙරුන් උජ්ජේනියෙහි විසූ බැවිනුත් අශෝක ශිලාලිපිවල තිබෙන ගිර්නාර් බස හා පාළියේ සමානත්වයක් ඇති බැවිනුත් පාළිය උජ්ජේනි ප්‍රදේශයෙහි පැවති භාෂාව යයි කියත්. රීස් ඩේවිඩ්ස් පඬිවරිය ද ඒ අදහස අනුමත කරයි. එච්. ලූඩර්ස් මහතා මුලදී බුද්ධධර්මය අර්ධමාගධියෙන් ලියන ලදුව පසුව එයින් පාළියට පෙරළන ලදැයි කියයි. ස්ටැන්කෝනෝ (Sten Konow) පඬිතුමා වින්ධ්‍යා පර්වත සමීපස්ථ පෙදෙස පාළියේ මුල්බිම යයි කියමින් පාළිය හා පෛශාචී භාෂාව අතර ඇති සාම්‍ය පෙන්වයි. ග්‍රයර්සන්,ෆැරැන්කේ යන පඬිවරු ද කෝනෝ මහතාගේ අදහස පිළිගනිමින් පාළියේ මුල පෛශාචී භාෂාව යයි කියත්. අවන්තිරට ථෙරවාදීන්ගේ බලකොටුවක් විය. උජ්ජේනිය අවන්තියේ අගනුවර ය. මිහිඳු මහතෙරුන්ගේ මෑණියන් උපන් පෙදෙස එයයි. මිහිඳු කුමරා ඇති දැඩි වූයේ පාටලීපුත්‍රයෙහි නොව අවන්තියෙහි යයි කියන ඒ පඬිවරු ඊට හේතු වශයෙන් අසන්ධිමිත්‍රා බිසොව ධර්මාශෝකයන් රාජ්‍යය ලබන්ට පෙර භාර්යා තනතුරෙහි තබාගත් නමුත් රාජ්‍ය ලැබූ පසු අන්‍ය බිසොවක් අගමෙහෙසුන් තනතුරෙහි තබාගත් බැවින් කලින් බිසොව ඇගේ මව්පියන් වෙතම විසූ බව පෙන්වති. අවන්ති රටේ එකල ව්‍යවහෘත භාෂාව පෛශාචී විය. භාෂාශාස්ත්‍ර විශාරදයෙක් වූ මහාකාත්‍යායන මහතෙරුන්ගේ ජාතභූමිය ද අවන්තියයි. වෘහත්කථා නමැති විශාල ග්‍රන්ථය මුලදී ලියන ලද්දේ පෛශාචී භාෂාවෙනි. ඒ භාෂාවේත් පාළියේත් ඇති සමානත්වය දක්වන නලිනාක්ෂදත්ත මහතා කුමාරපාල චරිතයෙන් ගත් ගති පෛශාචී වාක්‍යයක් හා එහි පාළි පරිවර්තනය මෙසේ පෙන්වයි:- 
     
        පෛශාචී: "පඤ්ඤාන රජියා ගුණනිථිනා රඤ්ඤා අනඤ්ඤපුඤ්ඤෙන චින්තෙතබ්බං මතනාදිවෙරිනො කෙහි විජෙතබ්බා 

    පාළියට නැගූ විට: "පඤ්ඤානං රාජිනා ගුණනිධිනා රඤ්ඤා අනඤ්ඤ පුඤ්ඤෙන චින්තෙතබ්බං මදනාදිවෙරිනො කෙහි විජෙතබ්බා" 

    පාළියට සමීපත්වයක් මේ භාෂාවෙහි පෙනේ. බෞද්ධාගමේ ඉතිහාසයක් ටිබැට් බසින් ලියූ "බුඩොන් රිචෙන්ඩුප්" මහතෙරනම විසින් ථෙරවාදීන්ගේ ත්‍රිපිටකය පෛශාචී භාෂාවෙන් ලියා තිබේ යයි කියා තිබීමත් මෙහි දී සැලකිය යුතු ය. ත්‍රිපිටකයේ භාෂාව පෛශාචියෙන් සකස්කර ගත් ශාස්ත්‍රීය භාෂාවය යන්න ඒ පඬිවරුන්ගේ පිළිගැනීමයි. නමුත් විල්හෙල්ම් ගයිගර් පඬිතුමා කියන්නේ එය අර්ධ මාගධියෙන් සකස් කරගත් ශාස්ත්‍රීය භාෂාවක් ය යන්නයි. ලාංකික පඬිවරයෙක් වූ සී.එච්. ඉසැඩ් වික්‍රමසිංහ මහතාගේ මතය වූයේ පාළිය අනුරාධපුර මහා විහාරීය භික්ෂූන්ගේ නිපදවීමක්ය යන්නයි. යම්කිසි බසක් අත්තිවාරම වශයෙන් තබා නොගෙන අලුත් ශාස්ත්‍රීය බසක් නිපදවීම ලෝකයේ නොකළ හැකි වැඩක් බැවින් බොහෝ දෙනෙක් ඒ මතය ප්‍රතික්ෂේප කළ හ. තීරණය මගධයෙහිත් කෝසලයෙහිත් භාෂා දෙකක් තිබෙන්නට ඇතත් ඒ දෙකේ බොහෝ සමානකම් තිබෙන්නට ඇත. මගධයෙහි බොහෝ කලක් විසූ බුදුරදුන්ට මාගධභාෂාව සියබස මෙන් ප්‍රගුණව තිබෙන්නට ඇත. මේ දෙරටෙහිම ශාස්ත්‍රීය කටයුතු හා ලිපිගනුදෙනු සඳහා සාමාන්‍ය භාෂාවක් පැවැත්තේ යයි සිතන්නට ද ඉඩ තිබේ. ප්‍රථම සංගීතියේ දී ත්‍රිපිටකය දැන් තිබෙන පාළි භාෂාවෙන් සංගායන කරන ලද්දේ නම් එය ගයිගර් පඬිතුමා කියන සේ මාගධියෙන් සකස් කොට ගත් බස විය යුතු ය. පාළි ත්‍රිපිටකය තරමට නැත්න් ඊට ළං වෙන තරමට පැරණි වූ සංස්කෘත ත්‍රිපිටකයක් ද විය. විමලප්‍රභා නමැති සංස්කෘත ග්‍රන්ථයෙහි වනාහි ත්‍රිපිටකය සයානූරටක සයානූභාෂාවකින් ලියන ලදැයි කියා ඒ භාෂාවන්ගේ නම් ද දක්වා තිබේ. මධ්‍ය ආශියාවේ පරීක්ෂණවල යෙදුණු ස්ටයින්, ග්‍රෑන් වැඩල්, ලෙකොක්, ලොයිමන්, හොඑර්න්ලේ, සිල්වෙන් ලැව් ආදී මහතුන් විසින් මධ්‍ය ආශියාවේ කාන්තාරවල තිබුණු නටබුන් අතරෙන් සොයාගත් නෂ්ටාවශිෂ්ට ග්‍රන්ථ කොටස්වල සංස්කෘත, ප්‍රාකෘත, කෞෂියන් බෝටනීස්, පුරාතන තිබ්බත, ප්‍රාච්‍යෙඓරේනියන් යන භාෂාවලින් ලියූ දහම් කොටස් දකින්ට ලැබී තිබේ. "උදානවර්ග" නමින් කියවෙන සම්පූර්ණ සංස්කෘත ධම්මපදය ද, සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂසූත්‍රය ද ප්‍රාකෘත ධම්මපදයක් ද ඒ පොත් අතරෙහි වෙති. කර්න් (Kern) පඬිතුමාගේ සද්ධර්මපුණ්ඩරීක සූත්‍රයේ පරිවර්තනයේ විඥාපනයෙහි සංස්කෘත - පාළි - ප්‍රාකෘත යන භාෂාවලින් ලියවී තිබෙන ධර්මපාඨවල වෙනස් සසඳා බලා ඒ ඒ ග්‍රන්ථයන් එකකින් එකක් පෙරළාගත් පෙරළාගත් ඒවා නොව එකම මූලග්‍රන්ථයකින් පෙරළාගත් බව ඔප්පුවේ යයි කියා තිබේ. මෙකියන මූල්‍යග්‍රන්ථයන්ගේ භාෂාව කුමක්ද යන්න නිශ්චය කර ගැනීමට සෑහෙන තරම් සාධක තවම ලැබී නැත. මේ පඬිවරුන් බොහෝ දෙනෙකුන්ගේ පිළිගැනීම නම් පාළි ත්‍රිපිටකයත් ඒ මුල් බසින් පාළියට නගන ලද්දේය යන්නයි. පාළි ත්‍රිපිටකය මගධයෙහි දී සකස් කරනු ලැබී නම් එය අවන්තිරට පාරේ ලක්දිවටත් දකුණු ඉන්දියාවටත් පැමිණියා මිස මගධයෙන් උතුරු දෙසට ගමන් කළ බවට සාධක නොපෙනේ. උතුරු දෙසට ගමන් කෙළේ සංස්කෘතාදී අන්‍යභාෂාවලට නැගුණු ත්‍රිපිටකයයි. නමුත් දැනට දක්නට ලැබෙන පිටකපොත් අතුරෙන් පාළි ත්‍රිපිටකය ඉතා පැරණි යයි නිගමනයට බැසිය හැකිය. ප්‍රථම සංගීතියේදී එය ඒ බසින්ම සංගීතියට නොනගන ලද්දේ  නම් ඊට නුදුරු කාලයකදීම ඒ බසට නගන ලදැයි පිළිගත යුතු ය. මෙසේ පාළිය බුද්ධධර්මය සංගෘහීත වූ බස් අතුරෙන් මුල්බසට නොවේ නම් ඉතා පැරණි බසයයි කිය යුතු ය. 

උපුටා ගැනීම - පාලි සාහිත්‍යය, දර්ශන විශාරද - මහාචාර්ය, අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නාහිමි. පිටු, 01-16 

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ

0 comments



Picture


දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වර්ණනා කරන පාලි සූත‍්‍ර ධර්ම අතර දීඝනිකායේ ලක්ඛණ සූත‍්‍රය, මහාප‍්‍රදාන සූත‍්‍රය, බ‍්‍රහ්මායු සූත‍්‍රය, සේල සූත‍්‍රය, සුත්ත නිපාතයේ වත්ථු ගාථා සහ පශ්චාත් කාලීන කෘතියක් වන පජ්ජමධු නම් කාව්‍ය ග‍්‍රන්ථය ආදිය මූලික වන්නට වූ අතර මුල් සූත‍්‍ර තුන සම්පූර්ණ මහා පුරුෂ ලක්‍ෂණ දෙතිස පිළිබඳ පරිපූර්ණ විවරණයක් ඉදිරිපත් කරයි. පාලි මූලාශ‍්‍ර හැරුණු විට මේ ලක්‍ෂණ පිළිබඳ මහා වස්තුව (කි‍්‍ර.ව. 2 –4 ) සංක්ෂේප විස්තරයක්ද ලලිත විස්තරයේදී (කි‍්‍ර.පූ. 1 – කි‍්‍ර.ව. 2 ) දෙතිස් ලක්‍ෂණ පිළිබඳ සම්පූර්ණ විස්තරයක්ද අසූවක් අනුව්‍යඤ්ජනයන් ගැන විවරණයක් ද ඉදිරිපත් කරයි. පාලි අනුක‍්‍රමයේත්, ලලිත විස්තරයේ දක්නට ලැබෙන සුවිශේෂී වෙනස නම් පාලියෙහි දෙපතුළ සිට ශීර්ෂ මුදුන දක්වා ලක්‍ෂණ එකිනෙක සංග‍්‍රහ කරන අතර ලලිත විස්තරය ශීර්ෂයේ සිට පාදාන්තය දක්වා සංග‍්‍රහ කිරීමයි. ලක්ඛණ සූත‍්‍රයේ විවරිත පිළිවෙළට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දක්වා විමර්ශනය කිරීම සිදු කරනු ලැබේ.

i. සුප්පතිට්ඨිත පාද

මනාව පිහිටි පාද (සු + පතිට්ඨිත + පාද) යනු මෙහි අදහසයි. බුදුරදුන්ගේ මෙම ලක්‍ෂණ පිළිබඳ විවරණය කරන සුමංගල විලාසිනී අටුවාව ‘අන් අයගේ පතුල් බිම තබන විට අග කොටස හෝ විලුඹ හෝ එක් පැත්තක් පළමුවෙන් පොළොව ස්පර්ශ කරයි. මැද හිස් ය. ඔසවන විටත් අග හෝ විලුඹ හෝ කොසටක්ව එසවේ. බුදුන්වහන්සේගේ පතුල් වූ කලි රන් මිරිවැඩියක් සේ එකවර බිම වදී. එකවරම පොළොවෙන් එසවේ’ මෙම ලක්‍ෂණය ගැන විමර්ශනය කරන විට අසාමාන්‍ය අංග ලක්‍ෂණයක් බැව් දෘෂ්‍යමාන වේ. එහෙත් එබඳු සමතල පාද ඇති වීම විශිෂ්ටත්වය හඟවන සංකේතයක් ලෙස සිතිය හැකි ය. මෙම විශේෂ ලක්‍ෂණය වර්ණනා කෙරෙන ජිනාලංකාර වණ්ණනාව හා ධර්මප‍්‍රදීපිකාව මෙසේ විවරණය කරයි. ‘බුදුන්වහන්සේ ගමන් කරන විට පොළවේ උස්තැන් පහත්ව පහත් තැන් උස්ව සමතලා බිමක මෙන් ඒකාකාර වේ. අතිපරිශුද්ධ උත්මයාණන් වහන්සේ ගමන් කරන විට අතිශයින් මෘදු වූ පතුල් තල සමසේ පොළොවේ ස්පර්ශ වන අතර දුහුවිල්ලෙන් දුර්වර්ණ වේ.’ පජ්ජමධුව හැම තැනම මනාව පිහිටන්නා වූ ශ්‍රී පාදය වර්ණනා කරනුයේ රන්වන් වූ සියුම් සිවියෙන් සෞම්‍ය වූ ඉදිබුවෙකුගේ පිටක් මෙන් ක‍්‍රමයෙන් උස්ව බබළන බවයි. ලක්ඛණ සූත‍්‍රය මෙම ලක්‍ෂණය විවරණය කරමින් සමානව බිමෙන් එසවෙන බවත් සමානව පොළව මත පිහිටන බවත් සඳහන් කරයි.

ii. හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි

යටි පතුලේ සුප‍්‍රතිෂ්ඨිත චක‍්‍ර ලක්ෂණය මෙයින් පැහැදිලි කෙරේ. මෙය ශ්‍රී පාදයෙහි ප‍්‍රතිෂ්ඨාපිත චක‍්‍ර ලක්‍ෂණය විශේෂ සලකුණක් සේ ලක්ඛණ, මහා ප‍්‍රදාන හා බ‍්‍රහ්මායු සූත‍්‍ර විවරණය කළා සේම පජ්ජමධුව ද චක‍්‍ර හා සම්බන්ධ ඇතැම් බාහිර ලක්‍ෂණ ගැන විස්තර ඉදිරිපත් කරයි. දහසක් දැවි ඇති, නිම් වළලු සහිත මනා බෙදුම් ඇති සර්වාකාර පරිපූර්ණ චක‍්‍ර ලක්‍ෂණය යටි පතුලෙහි පිහිටි බව මෙයින් විස්තර කෙරේ. ලක්ඛණ සූත‍්‍රයේදී ද මේ අයුරින්ම චක‍්‍ර ලක්‍ෂණය හා සම්බන්ධ බාහිර ලක්‍ෂණ වර්ණනා කර ඇත. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ අතුරෙන් චක‍්‍ර ලක්‍ෂණය අතිශයෙන් වර්ධනයට පත් ප‍්‍රධාන ලක්‍ෂණයකි. මූලික චක‍්‍ර ලක්‍ෂණය පරිවාර ලකුණු රාශියකින් සංවර්ධිත විය. ඒ පරිවාර සංකේත රාශිය ගණනින් 108 කි.

‘චක‍්‍රරත්නය (චක්කා), ශ්‍රී අංගය (සිරිවච්ඡකො), ස්වස්තිකය (ස්වස්ති) දක්ෂිණාවර්තය (නන්දවත්ති), අවතංසකය (අවතංස), භද්‍රපීඨය (භද්දපීඨං), පුන්කළස (පුණ්ණකුම්භො), පූර්ණපාති‍්‍ර (පාති), ශ්වේතච්ඡත‍්‍රය (සොතාතපත්ත), කඩුව (ඛග්ගො), තාලවන්ත සහිත විජිනිපත (සතාලවණ්ටසංවීජනී), මයුර හස්තය, (මොරහෙත්‍ථා), අංකුසය (අකුසො), ප‍්‍රාසාද ලක්‍ෂණ(පාසාද), උෂ්ණීෂකය (උණ්හීස), උත්පල (උප්පල), මාණික්‍ය (මණි), පද්මය (පදුම), සමුද්‍රය (සමුද්දො), මෙරු පර්වතය (මෙරු), චක‍්‍රවාට පර්වතය (චක්කවාළසිඛරී), හිරු (සූරො), සඳ (චෙÁදා), නක්‍ෂත‍්‍ර (නක්ඛත්ත), සක්ලකුණ (චකකං), ධජය (ධජො), මහාවිජයොත්තරසක (මහාවිජයුතතරාකඛ්‍යංසංකං), ස්වර්ණ මත්ස්‍ය යුගල (සොවණණ මච්ඡයුගලං), සෙමෙර (චාමර) කිඹුල් ලකුණ (කුම්භීලදග්ගහිතතො), සප්ත මහාගංගාවෝ (සත්තාපගා), සප්ත මහාවිල් (දහාචසත්ත), සප්තකුඨ පර්වත (සෙලාචසත්තං), පතාකා (පතාකා), පටඬ්කි (පටඬ්කි), කේසරසිංහ (මිගින්ද), ගුරුළුරජ (සුපණ්ණරාජ), වළාහක අශ්වරාජ (වළහක අසසපති), ජද්දන්ත ඇත්රජ (ජද්දන්ත), උපොසිථ හස්තිරාජ (චරණූපොසථහත්ථිරාජ), කෛලාස පර්වත ප‍්‍රතිමාව (කෙලාසසෙලපටිමා), හංසලකුණ (පාදහංස), ඓරාවන හස්තිරාජ (එරවනොකරිවරො), වාසුකි නම් නාගරාජයා (වාසුකි නාගරජො), මයුර රාජා (මොරරාජං), චතුර්මුඛ ස්වර්ණ නෞකා (චතුමුඛහෙමනාවා), කරවීක පක්ෂියා (කරවීක පක්ඛි), සක්වාළිහිණියා (චක්කවාක), මකර ලක්‍ෂණය (මකරා), කොස්වාළිහිණියා (කොංච), ජිවංජීව (ජීවජීව), කිංපුරිස (කින්නර), කින්නරාංගනා (කින්නරී), වෘෂභරාජයා (උසභො), වස්සා සහිත ධෙනුව (සවච්ඡධෙනු), සොඪස බ‍්‍රහ්ම ලෝක (සොළසධාතුධාම), සත්වරූප (පද සත්තරූපා) “ ආදිය ඒවා අතර වෙයි.

අට්ඨකථාවේ දැක්වෙන්නේ චක‍්‍ර ලක්‍ෂණය තුළ සටහන්ව ඇත්තේ ලක්‍ෂණ කිහිපයක් පමණකි. අට්ඨකථාවට පසුව රචිත සිංහල කෘතියක් වන ධර්මප‍්‍රදීපිකාවේ සිරිපතුලෙහි සංකේත 65 ක් පමණක් අන්තර්ගත බව දක්වා ඇත.

චක‍්‍ර ලාංඡනය පිළිබඳ මෙකී විවරණයෙන් බාහිරව ශ්‍රී පාද පතුළෙහි චක‍්‍ර ලක්‍ෂණයක් පිහිටි බව අංගුත්තර නිකායෙන් හමුවේ. බුදුන් වහන්සේ උක්කට්ඨා සහ සේතව්‍ය මහා මාර්ගයේ හුදකලාව වඩින විට ඒ මාර්ගයේ ගමන් ගත    ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණයෙක් බුදුරදුන්ගේ පිය සටහනෙහි වූ අර, නිම් වළලු, චක‍්‍ර, නාඹි හා ඊට අදාළ උපාංග සියල්ල පරිපූර්ණ වූ චක‍්‍ර සටහනක් දැක ඇත.

පශ්චාත් කාලීන කෘතිවල බුදුන්වහන්සේගේ අතිමානුෂික මහිමය ප‍්‍රභාවිත කිරීම සඳහා පත්ළෙහි චක‍්‍ර ලක්‍ෂණය පිළිබඳ චිත්තාකර්ෂණීය වර්ණනාවක් ඇතුළත් කර ඇත. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ පිළිබඳ දීර්ඝ විස්තරයක් ගෙන හැරපාන පජ්ජමධුව, චක‍්‍ර ලක්‍ෂණය කුසලතා පූර්ණ කලාකරුවෙකු විසින් නිර්මාණය කරන ලද චක‍්‍රයක ආකාර බැව් සඳහන් කරයි.

iii. ආයතපණ්හි

බුදුන්වහන්සේගේ පාදය දීර්ඝ හා පරිපූර්ණ විලුම් ඇති බව මෙයින් විවරිතය. බුදුන්වහන්සේගේ විලුඹ දිගය. පරිපූර්ණය. ශ්‍රී පාදයේ කොටස් අතරට බෙදුව හොත් එයින් කොටස් දෙකක් යටි පතුළ හා ඇඟිලි සඳහා වෙයි. තෙවෙනි කොටස කකුලෙන් පුරුකෙන් වැසී ඇති අතර සිව්වෙනි කොටස පසු පසට නෙරා ගිය විලුඹකින් බුදුරදුන්ගේ දික් වූ විලුඹ ඇත්තේ වෙයි.

iv. දීඝංඟුලි

පාලියේ දී මහාපුරුෂ ලක්‍ෂණ පාදයෙහි පටන් හිස දක්වා ආරෝහණ ක‍්‍රමයට සංග‍්‍රහ වී ඇත. ලලිත විස්තරය වැනි ඇතැම් සංස්කෘත ග‍්‍රන්ථවල ඉසේ සිට පාදය දක්වා අවරෝහණ ක‍්‍රමයට විස්තර ඉදිරිපත් කරයි. පජ්ජමධුවේහිදී ‘පාදම්බුජම්බු’ යනුවෙන් ශරීරයේ පහළ කොටසට අයත් ලක්‍ෂණ අතරට එය ඇතුළත් කර ඇත. පජ්ජමධුවේ පළමු ගාථාවෙන්ම ශ්‍රී පාදය පියුමකටද, ඇඟිලි පියුම් පෙතිවලට, නිය අමෘතය මෙන්ද, වර්ණනා කර ඇත. ශ්‍රී පාදයෙහි දිගු වූ ඇඟිලි මහාපුරුෂ ලක්‍ෂණයක් ලෙස ලක්ඛණ සූත‍්‍රයේද විචරිතය.

v.  මුදුතලුනහත්ථපාද

මහා පුරුෂයාගේ අත් පා තල පිළිබඳ මෘදු මොළොක් බව ප‍්‍රකාශ කෙරෙන ලක්‍ෂණය මෙයයි. උන්වහන්සේගේ අතුල්පතුල් තල සියක්වර පොළා ගිතෙල් බඳුනක බහාගත් කපු පුළුනක් මෙන් මෘදුය. වයසට පත්කලද එකෙණෙහි උපන් ළදරුවෙකුගේ මෙන් ඒවා මෘදුය. මෘදු මොළොක් අතුල් පතුල් ඇත්තේ ද වේ.

vi. ජාලහත්ථපාද
දැල් කවුළුවකට බඳු අත් පාද ඇති බව මේ ලක්‍ෂණයෙන් කියවිණි. ‘ජාල’ යනු දැල යන අර්ථයයි. ජාලහත්ථපාද ලක්‍ෂණය මහාපුරුෂ ලක්‍ෂණවලින් එකකි. බුදුන්වහන්සේගේ අත්පාදවල පිහිටි ජාලයක් බඳු වූ ලක්‍ෂණ උන්වහන්සේගේ හස්තයේ මාපටඟිල්ල හැර, අනෙක් ඇඟිලි හතරත් පයේ ඇඟිලි පහත් යන මේවා එක සමාන උසින් පිහිටා තිබීමත් සමව පුරුක් පිහිටා තිබීමත් යන ලක්‍ෂණ මෙයින් කිය වේ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් වන මෙය දැල්කවුළුවක් මෙන් ඇඟිලි සමප‍්‍රමාණව අත්පාවලින් යුතු බව කිය වේ.

vii. උස්සඬ්කපාදතා

මහාපුරුෂයාට උස් වූ වළලු කරක් ඇති බව කියවෙන අතර මේ පදයට විවිධ අර්ථකථන ඉදිරිපත් කිරීම නිසා එක් එක් සම්ප‍්‍රදායකින් විපරීත ආකාරයන්ගෙන් අවබෝධ කොට ගෙන ඇති බුදුන් සතු මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් එකක් වූ මෙය උඩට පිහිටි ගොප් ඇටය සහිත පා, බොලට පා, නිය වන බව ශබ්ද කෝෂයන් පෙන්වා දෙයි. පාද තලයෙහි දිගින් හරි මැද වළලු කර පිහිටියේ ය. සෙස්සන්ගේ බොලට හෙවත් ගොප් ඇටය උඩු පතුළෙන් මතු පිටට නෙරා තිබේ. එහෙයින් එය ස්තරය, තදය, පහසුවෙන් නැමිය හැකි නොවේ. එසේම යටි පතුළ දිස් නොවේ. බුදුන්වහන්සේ ගමන් කරන විට උඩු කය චලනය නොවේ. එය රන් පිළිමයක් මෙන් නිසලය. යටිකය පමණක් චලනය වේ. කුමක් නිසාද යත්, උන්වහන්සේගේ වළලු කර සන්ධිය එතරම් සුඛනම්‍ය හෙයිනි. මෙබඳු සුඛනම්‍ය, උස්ව මතු වී පෙනෙන වළලුකරයක් ඇති හෙයින් උන්වහන්සේ උස්සඬ්ක පාද ලක්‍ෂණයෙන් යුක්ත වේ.

viii. එණිජඬ්ගා

ඕළු මුවන්ගේ කෙණ්ඩා බඳු කෙණ්ඩා ඇති, හාත්පස සමව මසින් පිරී වටකුරු වූ පිරිපුන් කෙණ්ඩා ඇති බව යන ලක්‍ෂණය පිහිටීම මෙයින් හැඳින්විණි. මුවෙකුගේ වැනි ජඬ්ඟා ඇති බව ඔප්පු කිරීම සඳහා උපමාවක් යොදා ගන්නා බුද්ධඝෝෂ හිමියන් මනා ගැළපුණු සන්ධිස්ථාන සහිත උඩට ඉලිප්පී මතු වී පෙනෙන මසින් පිරුණු ජඬ්ගා කෙණ්ඩ යව කරලක් හෝ වී කරලක් හා සමාන බව කියයි. “එණි ජඬ්ගා” ලක්‍ෂණය විවරණය කරන පජ්ජමධුව බුදුන්වහන්සේගේ කෙණ්ඩා දෙක එණි මෘගයන්ගේ ජඬ්ඟද්වය වැනි බවත් උත්සන්න වූ මාංශයෙන් පිරුණු පිරිපුන් කෙණ්ඩා ඇති බවත්, එය හාත්පස සමාන වූ මාංශයෙන් පිරී ඇති බවත් විවරණය කරයි. උපමා දෙකක් දක්වමින් ශ්‍රී කාන්තාවගේ උත්සවයට නිරතුරු සරසා සිටුවන ලද රන් දාර දෙකක් බඳු යැයි ද, තැඹිලි මල් කැකුළු දෙකක් බඳු යැයි ද කියයි.

ix. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති

සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය, යන මහාපුරුෂ ලක්‍ෂණය මෙයින් කිය වේ. මෙය මහා පුරුෂයාට දීර්ඝ අත් ඇති බවද කියන අතරම උන්වහන්සේ සෘජුව සිටගත් විට දෙඅත් දණ හිස් දක්වා එල්බ සිටිතැයි ලලිත විස්තරය කියයි. මහා පුරුෂයාගේ මුළු සිරුරම පරිපූර්ණය. උන්වහන්සේට සෘජුව සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය. ගැඹුරු සිත් නමැති විලතුළ ගැලෙන මෛතී‍්‍ර, කරුණා යන ඇතින්නන් දෙදෙනාගේ සොඬමෙන් බුදුරදුන්ගේ අත් දෙක ශරීර නමැති කප් රුකෙහි අතු දෙක මෙන්ද, කප් රුකෙන් ලැබෙන අමෘත ඵලය මෙන් නිර්වාණ නමැති ඵලය ද ලබා දෙන බව පජ්ජමධුවේ දෙබාහු වර්ණනා කරමින් ඉදිරිපත් කරයි. යමෙකුගේ ශාරීරික පරිපූර්ණත්වය ප‍්‍රකට කිරීමට පමණක්ම භෞතික හා ආධ්‍යාත්මික ලෝකයෙහි නායකයෙකු මෙන් කල්පනා කරන මහාපුරුෂයාගේ ශ්‍රේෂ්ඨත්වය අඟවන සංකේතයක් ලෙසින් ද මෙම ලක්‍ෂණය ආරෝපණය කෙරේ.

x. කොසෝහිත වත්ථගුය්හ

කෝෂයකින් වැසුණු පුරුෂ ව්‍යංජනයක් ඇති බව මෙම ලක්‍ෂණයෙන් නිරූපිතයි. ලලිත විස්තරයේදී මෙය ‘කෝසෝපගත වස්ති ගුය්හ’ යනුවෙන් සඳහන් කෙරේ. මෙම ලක්‍ෂණය පැහැදිලි කරන අටුවාව එය හස්තියෙකුගේ හෝ වෘෂභයෙකුගේ මෙන් කෝෂයකින් වැසී තිබෙන බවත් නැතහොත් රන් නෙළුමක බීජ කෝෂය මෙන් හා සමාන වන බවත් කියයි. මෙම ලක්‍ෂණය වූ කලී මහාපුරුෂ ලක්‍ෂණ පරීක්‍ෂා කරනවුන්ට සැක උපදවන එකෙකි. එහි දී බුදුරදුන් සෘද්ධි බලයෙන් තම රහස් පෙදෙස ප‍්‍රදර්ශනය කළ බැව් පෙළෙහි සඳහන් වේ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ බුදුවරයෙකුට හෝ සක්විති රජෙකුට පමණක් සීමා වූවත්, ඇතැම් ලක්‍ෂණ පුද්ගලයන්ට ද තිබිය හැකි බව ඇතැම් සාධක මඟින් නිගමනය කළ හැකි ය. දුටුගැමුණු රජුගේ යෝධයෙකු වූ නන්දිමිත‍්‍ර, කෝෂයකින් වැසුණු රහසඟ ඇති අයෙකු බැව් මහාවංශය සඳහන් කරයි.

xi. සුවණ්ණවණ්ණ

බුදුන්ගේ ශරීරය ස්වර්ණ වර්ණයෙන් යුක්ත ලක්‍ෂණයෙන් හෙබි බව මෙයින් අදහස් කෙරේ. සියුම් සිවිය ඇති ශරීරය නිසා රජස් දූවිලි ශරීරයෙහි නො ගැටේ. පජ්ජමධුව ද උන්වහන්සේගේ සිරුර රන්වන් සෙයින් ම, ගණ රන් පිළිමයක් වැනි යැයි ද, සියුම් සිවිය නිසා රජස් දූවිලි නො ඇලෙන බව ද, එය පියුම් පතෙහි හුණු දිය බිඳක් මෙන් පහවෙන බව ද කියයි.

xii. සුඛුමච්ඡවි

මෘදු, සෞම්‍ය සමක් පුරුෂයෙකුට ඇති වීම අස්වාභාවික ලක්‍ෂණයක් නොවූවද මෙම සුඛමච්ඡවි ලක්‍ෂණය පිළිබඳ විස්තර බුද්ධ ශරීරයට අතිමානුෂික විචිත‍්‍රත්වයක් ආරෝපණය කිරීම නිසා එහි ක‍්‍රමික සංවර්ධනය පෙන්නුම් කරයි. සියුම් සිවියකින් බුද්ධ ශරීරය හොබනා බැවින් රජස්, දූවිලි කිසිවිටෙක සිරුරෙහි නොගැටෙයි. නොඇලෙයි. නිරන්තර පාරිශුද්ධත්වයෙන් යුක්ත ය.

xiii. එකෙකලොම

එක් ලෝම කූපයෙහි එක් එක් රෝමයක් ඇත්තේ ය. යන ලක්‍ෂණය මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් තවෙකකි. පජ්ජමධුවේ ‘කුටිපග්ගලොමා’ යන්නෙන් ඒකේකලෝම හා උද්ධග්ග ලෝම යන පුරුෂ ලක්‍ෂණද්වයම ප‍්‍රකාශිතය. ලෝකයෙහි සෙස්සන්ගේ එක්රෝම කූපයක් තුළ රෝමකූප දෙක තුනක් තිබිය හැකි ය. එහෙත් බුදුරදුන්ගේ එක් රෝම කූපයක් තුළ එක් රෝමකූපයක් පමණක්ම ඇත.

xiv. උද්දග්ගලොම

දක්‍ෂිණාවර්තව වක‍්‍ර වී ඌර්ධව බලාසිටි අඤ්ජා පැහැ සමාන තද නීලවර්ණ රෝම මෙම නමින් හැඳින්වේ. මෙම ලක්‍ෂණය පිළිබඳ විවරණය කරන ලලිත විස්තරය දකුණට කැරකැවී, රෝමාග‍්‍රය උඩු අතට හැරී තිබෙන බව කියයි. ඒ අනුව බුදුන්ගේ ශරීරයෙහි නීල අඳුන්වන් වූ රෝමයෝ දක්‍ෂිණාවර්තව ආවර්තන පර්යාවසානයේ මුඛසෝභා බලනවුන් මෙන් ඌර්ධවාග‍්‍රව සිටීම මෙහි ස්වභාවය යැයි දක්වාලයි. මේ ලක්‍ෂණය උඩුකුරු වූ අඟ ඇති රෝමයක් වැනි ය.

xv. බ‍්‍රහ්මුජ්ජුගත්ත

බ‍්‍රහ්මයාගේ බදු සෘජු ශරීරයක් ඇතිබව යනු මෙම ලක්‍ෂණයේ ස්වභාවයයි. ගෞතම බුදුන්වහන්සේගේ බ‍්‍රහ්මරූපී වර්ණයෙන් යුතු සෘජු විශිෂ්ට රූප කාය සම්පත්තියකින් බුදුන්වහන්සේ හෙබි වූ බැව් මෙම ලක්‍ෂණය පිළිබඳ විවරණයන්ගෙන් පැහැදිලි කෙරේ. ශ්‍රේෂ්ඨත්වය, පරිපූර්ණත්වය වැනි අර්ථ දීම සඳහා බෞද්ධ පාරිභාෂික වචන මාලාවට “බ‍්‍රහ්ම” යන්න ඇතුළත් කරමින් බුදුරදුන්ගේ සෘජු හා පරිපූර්ණ ශරීරය අදහස් කිරීම් වස් බ‍්‍රහ්මුජ්ජුගත ලක්‍ෂණය ඇතුළත් කරන්නට ඇත.

xvi. සත්තුස්සද

“සත්තුස්සද” යන පදය මහා පුරිස ලක්‍ෂණ සන්දර්භයෙන් විමසා බලන විට ශරීරයෙහි සප්ත ස්ථානයන් පිරිපුන් බව හඟවයි. සත් තැනක උත්සන්නව, සත් තැනක පිරිපුන් මාංශය ඇති වේ. එම ස්ථාන හත නම් අත්දෙකෙහි, පා දෙකෙහි, උරහිස් දෙකෙහි හා ස්කන්ධයෙහි පිහිටි බැව් ලක්ඛණ සූත‍්‍රය පෙන්වා දෙයි. මනුෂ්‍ය ශරීරයේ මස්වලින් ඉල්පී ඇති ස්ථාන සඳහා ද “සත්තුස්සද” නමින් හඳුන්වන අතර මහා පුරුෂ ලක්‍ෂණයක් ලෙස ද එය සලකයි.

xvii. සීහපුබ්බද්ධකාය

බුදුන්වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය සිංහයාගේ බඳු ය. යන ලක්‍ෂණය මෙයින් අර්ථවත් වේ. තථාගතයන් වහන්සේ “සිංහ” යන විශේෂ නාමයෙන් ද හඳුන්වනු ඇත. බුදුන්වහන්සේගේ දෛනික චර්යාවද සිංහ චර්යාවටම සමාන කරන අතර බුදුන්වහන්සේ සැතපීම ද, සිංහ ස්‍යෙයාව නමින් හඳුන්වා ඇත. සීහපුබ්බද්ධකාය විස්තර කරන අටුවාව බුදුරදුන්ගේ ශරීරය සිංහයාගේ උඩුකයේ කොටසට සමාන වන හෙයින් “සීහපුබ්බද්ධකාය” නමින් හඳුන්වයි.

XVIII. චිතන්තරංස

උරස්ථල අතරෙහි රැලි නැති ලක්‍ෂණය මෙයින් කියැවේ. මසින් පිරුණු පිටිකර ඇති බව පෙලෙහි මෙම ලක්‍ෂණය සඳහන් කරන ආකාරයයි. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව “අන්තරංස” යනු දෙවුර අතර කොටසයි. එහි නොඅඩුව පිරුණු දෙවුර අතර කොටස “චිතන්තරංස” යැයි කියයි. ‘කනක සංකම සන්නිකාසා’ යනුවෙන් බුදුරදුන්ගේ පිට පුළුල් බවත් මුළු සිරුර රන්වන් හෙයින් පිට ද රන්වන් බැවින් රන් පාලමක් සෙයින් පුළුල්ව පවතින බව චිතන්තරංස ලක්‍ෂණය විවරණය කරන පජ්ජමධුව දක්වයි. දුරදුන්ගේ උරස්ථලය ඉන්ද්‍රනීල මාණික්‍ය වර්ණ වූ වළලු මෙන් ඇතුළට නැමුණු අග ඇති රෝම පන්තීන්ගෙන් යුක්ත බවත් එහෙයින් ශ්‍රී කාන්තාවගේ කී‍්‍රඩා පිණිස සාදන ලද රන් දූ පෝරුවක් වැනි යැයි ද එහි විස්තර කෙරේ.

XIX නිග්‍රෝධ පරිමණ්ඩල

නිග්‍රෝධ වෘක්‍ෂයක පරිධිය මහා පුරුෂයාගේ ශරීරය හා තුලනය කිරීම මෙයින් සිදුකෙරේ. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව ශරීරයේ ප‍්‍රමාණය නිග්‍රෝධ රුකෙක සම්මිතිය හා සමාන බවත් දෑත දෙපසට විදහූ කල දැක්වෙන පරිධිය උස ප‍්‍රමාණයට සමාන බවත් කියයි. මේ ලක්‍ෂණ මඟින් පුද්ගලයෙකු සතු ශ්‍රේෂඨ චර්යාව හඟවන්නට ඇති බවත් ආරෝහ, පරිණාහ සම්පත්තියෙන් ආඪ්‍ය මනුෂ්‍ය ශරීරාකෘතියක් පිළිබඳ හැඟීම මෙයින් ප‍්‍රකාශ කරන්නට ඇති බවත් සිතිය හැකි ය.

XX.සමවත්තක්ඛන්ධ

සමානව පිහිටි උරහිස් ඇතිබව මෙම ලක්‍ෂණයෙහි ස්වභාවයයි. සමවත්තක්ඛන්ධ යන ලක්‍ෂණයෙන් සමව, මනාව වැඩුණු උරහිස් යන අර්ථය ගත හැකි බැව් පෙනේ. සමව, වටවූ කද ඇති බව මේ ලක්‍ෂණය පිළිබඳ ලක්ඛණ සූත‍්‍රය කියයි. සම වූ, වට වූ ගී‍්‍රවය ඇති උස්ථලය ඇති බැවින් “සමවත්තක්ඛන්ධ” නම් මහා පුරුෂ ලක්‍ෂයෙන් යුක්ත වන බව ධර්මප‍්‍රදීපිකාව කියයි. බුදුරදුන්ගේ ගී‍්‍රවය ස්වර්ණ මෘදංග බෙරයක් සෙයින් හොබනා බැව් පජ්ජමධුව විවරණය කරයි.

XXI. රසග්ගසග්ගී

රස ග‍්‍රාහක ඉන්ද්‍රිය මෙනමින් හැඳින්වේ. අග‍්‍ර රස එළවන රස නහර ඇත්තේ ගී‍්‍රවයෙහි උඩුකුරුව කෙළින් නැඟී සිටි සමව රසය එළවන රසනහරයෝ හටගැනීම මෙම ලක්‍ෂණයයි. මේ ලක්‍ෂණය නිසා උන්වහන්සේට ඉතා ස්වල්ප ආහාරයෙකිනිදු ජීවත් විය හැකි බවද, ශාරීරික සෞඛ්‍ය ආරක්‍ෂාවටත් කෙබඳු ආහාරයක් වූවද ජීවත්වීමේ හැකියාව උපදවනා බවත් පැවසේ.

XXII.සීහහනු

බුදුරදුන්ගේ හනු සිංහයෙකුගේ හනු හා සමාන බව මෙම ලක්‍ෂණයෙන් කියවිණි. පජ්ජමධුව ද මෙම ලක්‍ෂණය විවරණය කරමින් බුදුරදුන්ගේ හනුව සිංහයෙකුගේ හනුව හා සම වෙතැයි එම මතයම ඉදිරිපත් කරයි. බුදුරදුන්ගේ මේ ලක්‍ෂණය විස්තර කරන ලක්ඛණ සූත‍්‍රය සිංහයෙකුගේ යටි හනුව සේ පිරුණු උඩු යටි හනු දෙක ඇති බව කියයි. මෙසේ උඩු යටි හනු දෙක එකිනෙකට මනාව ගෑවී පවත්නා නිසා මුහුණට ද පූර්ණත්වයක්, විශිෂ්ටත්වයක් හා පාරිශුද්ධ බවක්ද ගෙන දෙයි.

XXIII. චත්තාලීස දන්ත

මහා පුරුෂයාට සමසතළිස් දත් පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරණය කරයි. දත් සතළිසක් උන්වහන්සේට පිහිටි බව ලක්ඛණ සූත‍්‍රයද සඳහන් කරයි. “චත්තාරිංශත් දන්ත ලක්‍ෂණය” දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් බවත් ;බෟද්ධ ශබ්ද කෝෂ ද පෙන්වා දෙයි. මහාපදාන සූත‍්‍රයෙහි විපස්සී කුමාරයාට මේ ලක්‍ෂණ කුමාර අවධියේම පිහිටි බව සඳහන්ව තිබීමෙන් පැහැදිළි වනුයේ ළදරුකළ සිටම එම ලක්‍ෂණය එතුමා තුළ පිහිටි බවයි. සාමාන්‍ය පුරුෂයෙකුට වඩා මහා පුරුෂයෙකුට අසාමාන්‍ය වූ දන්ත මාලාවක් පිහිටීම මංගල ලක්‍ෂණයක් සේම ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන්නෙකැයි පශ්චාත් කාලීනව විරචිත පජ්ජමධු ප‍්‍රධාන අනිකුත් ග‍්‍රන්ථවල විවරණය කෙරිණි. පජ්ජමධුවේ විශේෂත්වයක් වනුයේ චත්තාලීස දන්ත, සමදන්ත, අවිවරදන්ත, සුසුක්කදාඨ යන මහාපුරුෂ ලක්‍ෂණ හතරම ‘දන්තපන්ති’ යන එකම වචනයෙන් වර්ණනා කිරීමයි.

XXIV.සමදන්ත

මහාපුරුෂයාට ඒකාකාර දන්ත පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරිතය. මහාපදානයට අනුව සමවූ දත් පිහිටීම මහාපුරුෂයාගේ ළදරුකළ පටන්ම පැවැත එන ලක්‍ෂණයෙකි. මෙම සම දත් ඇති ලක්‍ෂණය ලක්ඛණ සූත‍්‍රයේද තවත් එක් පුරුෂ ලක්‍ෂණයක් වශයෙන් දක්වයි. අටුවාවට අනුව දික් වූ ද, කෙටි වූ ද ප‍්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වූද, සෙස්සන්ගේ දත් සමඟ බුදුන් වහන්සේගේ සමාන, ක‍්‍රමවත් ලක්‍ෂණයෙන් යුත් දත් ගැන විස්තරයක් ඉදිරිපත් කෙරේ.

XXV.අවිවරදන්ත

දත් දෙකක් අතර අන්තර විවරයක් නොමැති බව මෙම ලක්‍ෂණයෙහි ස්වභාවයයි. ලලිත විස්තරයේදී අතර පරතර රහිතව දත් පිහිටීම මෙම ලක්‍ෂණය බැව් අර්ථ දක්වයි. මේ ලක්‍ෂණය විවරණය කරන අටුවාවත් සෙස්සන්ගේ දත් අතර හිදැස් ඇති බවත් මස් හෝ මාළු අනුභව කරන විට ඒවා අතර පිරෙන බවත්, තවත් අයෙකුගේ දත් කිඹුල් දත් හා සමාන වන බවත් එහෙත් මහා පුරුෂයාගේ දත් ස්වර්ණමය ආධාරයක සවිකළ දියමන්ති පෙළක් මෙන් තරව, සමීපව පවතින බවත් සඳහන් කරයි. මෙම ලක්‍ෂණය මහා පුරුෂයාට ආරෝපණය කිරීම මංගල ලක්‍ෂණයක් වූවා සේම සෞන්දර්යාත්මක බාහිර වෙනුම හා සැසඳීම හා සමාන වෙතැයි ද සිතිය හැකි ය.

XXVI.සුසුක්කදාඨ

ඉතා සුදු පැහැති දත් (සුසුක්කදාඨො) මෙම පුරුෂ ලක්‍ෂණයේ ස්වභාවය බැව් විවරණය කරයි.

මෙය විශ්ලේෂණය කරන අටුවාව සෙස්සන්ට අබලන්, දිරාපත් දත් ඇති බවත් ඒවා වෛවර්ණ වන බවත් මහා පුරුෂයාගේ දත් වූ කලී සුදු පැහැයෙන් දීප්තිමත්ව බැබළෙන ඖෂධී තාරකාවක් මෙන් දිදුළන බවත් කියයි. බුදුන්වහන්සේගේ සතර දළදාවෝ සඳහන් කරන තැනද ‘දාඨා’ යන්න යොදා ඇත. සතර දළදාවන් පිළිබඳ විවරණය කරන මහා පරිනිබ්බාණ සූත‍්‍රය එක් දළදාවක් දෙව් ලොවෙහිද, නා ලොවෙහි ද පුද ලබන බව සඳහන් කෙරේ. තවත් දළදාවක් ගන්ධාර පුරයෙහිද, තවත් දළදාවක් කාලිංගයේද ප‍්‍රතිෂ්ඨාපිත අතර මේ ලක්‍ෂණය “සුසුක්කදාඨ” (සුදු දත්) යනුවෙන් හැඳින්වූවා සේම ඒ අතරට සතර දළදාවෝ ද ඇතුළත් කිරීමට අටුවාව උත්සාහ ගෙන ඇත.

XXVII. පහූත ජිව්හො

මහාපුරුෂයාගේ දිව හා සම්බන්ධ ලක්‍ෂණය මෙනමින් හැඳින්වේ. බුදුරදුන්ගේ දිව සදහම් නමැති ගඟුළැල්ලට පද්ම රාග මාණික්‍යමය ගල්තලාවක් ද, වාක් නැමැති මනොඥ රංග මණ්ඩලයක් ද, සද්ධර්ම නමැති රුවන් නෞකාවෙහි පිහිටුවන ලද පළු පතක් වැනි යැයි ද ‘පහූත ජිව්හ’ නම් පුරුෂ ලක්‍ෂණය විස්තර කරන පජ්ජමධුව වර්ණනා කරයි. දික් පුළුල් දිවකින් යුක්ත බව මේ ලක්‍ෂණය පිළිබඳ ලක්ඛණ සූත‍්‍රයේ විග‍්‍රහයයි. මහා පුරුෂයාගේ දිව මෘදුය, දිගය, පුළුල් ය. වර්ණයෙන් පි‍්‍රයංකර දිව දිගු කර කනෙහි අග‍්‍ර ස්පර්ශ කළ හැකි ය. නාසිකාශ‍්‍රය ස්පර්ශ කළ හැකි ය. එහි පෘථුල බව නිසා නළල් තලය ද දිවෙන් වැසිය හැකි බව බුදුරදුන් තම දිවෙහි ස්වභාවය පෙන්නුම් කරන අවස්ථාවන්හි සනාථ කර ඇත.

XXVIII. බ‍්‍රහ්මස්වර

බුදුරදුන්ගේ ස්වරය බ‍්‍රහ්මයාගේ ස්වරය හා සමාන යන අර්ථයෙන් “බ‍්‍රහ්මස්වර” නම් වන බව කියයි. කරවීක පක්‍ෂියාගේ නාදය ඉතාම මිහිරිය. ඔහු හඬන විට සිවුපාවෝ මධුමද මුදිතයන්සේ ලලිතාරම්භ කෙරෙති. බුදුරදුන්ගේ ස්වරය කරවීක ස්වරයටත් වඩා මෘදුය. එනිසා කරවීක පක්‍ෂියාගේ ස්වරය බුදුරදුන් පරදවන ලද්දේය. බුදුරදුන්ගේ පාදයෙහිද කරවීක ලක්‍ෂණය සනිටුහන්ව ඇත. මේ ලක්‍ෂණයෙන් යුත් මහා පුරුෂයා අතිවිශිෂ්ට හඬකින් යුක්ත වූවකු බව කිසිදු සැකයක් නැත. බුදුරදුන්ගේ ස්වරය පිළිබඳ මේ ලක්ෂණය ආශ්චර්ය ජනක හා අතිමානුෂීය ස්වභාවය පිළිබඳ සළකුණකි. උන්වහන්සේ සතුව මියුරු, තේජාන්විත ස්වරයක් හිමිව තිබූ බවද මෙයින් ගම්‍ය වෙයි.

XXIX. අභිනීලනෙත්ත

මහාපුරුෂයාගේ අතිප‍්‍රබල වර්ණයෙන් යුක්ත නේත‍්‍රයුග්මය මෙම ලක්‍ෂණයෙන් ප‍්‍රකාශිතය. බුදුන්වහන්සේගේ නේත‍්‍ර යුග්මය සිත්කළු වන බව මේ ලක්‍ෂණය පිළිබඳ පැහැදිලි කරන පජ්ජමධුව කියයි. බුදුරදුන්ගේ නෙත් නීලවර්ණ වුවමනා විට දිය බෙරලිය මල් වැනි ඉතා පිරිසුදු නිල් පැහැයෙන් ද, රන්වන් වුවමනා විට කිණිහිරිය මල් වැනි රන් පැහැයෙන්ද, රතුපාට වුවමනා තැන බඳුවද මල් වැනි රන්පැහැයෙන්ද, සුදු වුවමනා තැන තාරකාමෙන් සුදු පැහැයෙන් ද, කළු වුවමනා තැන රුක්පෙණෙළ ඇට වැනි ඉතාපිරිසුදු කළු පැහැයෙන් ද බබළයි.

XXIX. ගොපමුඛ

තුරුණු දෙනකගේ බදු ඇස්පිහාටු ඇති බව මෙම ලක්‍ෂණයේ ස්වභාවයයි. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව සෙස්සන්ගේ මෙන් නොව, මහා පුරුෂයාගේ එවේලෙහි උපන් රතු වස්සෙකුගේ ඇස්ගුළිය මෙන් දීප්තිමත්ව, මෘදුබවින් යුක්ත බව කියයි. එකෙණෙහි උපන් රතු වස්සෙකුගේ ඇස් පියුම් හා සමාන ඇස්පියුම් මහාපුරුෂයා සතුව ඇති බව නිසා ‘ගොපඛුමො’ යනුවෙන් ලක්‍ඛණ සූත‍්‍රයේ විවරිතයි. ගෝපඛුමතා ලක්‍ෂණය දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් බවත්, එය උපන් හැටියේ වස්සෙකුගේ රතුපිය ඇති ඇස්පියුම් බදු ලක්‍ෂණ වන්නේ යැයි ශබ්ද කෝෂය විග‍්‍රහ කරයි.

XXXI. උණ්ණා (ඌර්ණ රෝමය)

දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස ඌර්ණ රෝම ලක්‍ෂණය ලෙස ලලිත විස්තරය විග‍්‍රහ කරයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින් නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට කරකැවී උඩු අක්ව පවතින බවත්, රන් පෝරුවක් මත් දිළෙන රිදී බුබුළක් මෙන් රන් කළයකින් වැගිරෙන කිරි දහරක් මෙන් අරුණාලෝකය පහළ අහසේ ඕෂධී තාරකාව මෙන් ආලෝකමත්ව රශ්මී විහිදුවන බවත් කියයි. බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව භුරිද්ත්ත නාගරාජයා තුඹස මත දරණ ලා වැදහොත් ලීලාව දරන බවත්, නාගයා තුඹස මෙන් ද, ඌර්ණරොම ධාතුව භෝගාවලිය මෙන් ද පජ්ජමධුව විස්තර කරයි. බුදුන්වහන්සේගේ අතිමානුෂික ගුණාංග විදහා දැක්වීම අංශයෙන් විශේෂෙයෙන් ම බුද්ධකාය ප‍්‍රතිබද්ධව මහායාන සංකල්පය මත ඌර්ණරෝම ලක්‍ෂණය අතිශයෙන් වැදගත් වේ. නළල් තල මැද ප‍්‍රතිෂ්ඨාපිත ඌර්ණ රෝම ලක්‍ෂණය පජ්ජමධුවේ විස්තර කරමින් ඌර්ණ මණ්ඩලය නළල් මැද රන් ඵලක බැද තිබූ රිදීබුබුළක් මෙන් බබළන බව වර්ණනා කරයි.

XXXII. උණ්හීසසීස

බුදුරදුන්ට සම්පූර්ණ වූ දිය බුබුළක් මෙන් බබළන්නා වූ ශීර්ෂ ඇති බව “උණ්හීසසීසපක්‍ෂණය” පිළිබඳ පජ්ජමධු විවරණයයි. බුදුන් වහන්සේගේ හිස රූප නමැති ලක් විඳින, ඇස් නමැති ඊවල දැකීම් නමැති මුවහත් තබන්නා වූ මිණිගෝළයක් මෙන් බබළන බව කියයි. අටුවාව උණ්හීස ශීර්ෂ විවරණය කරමින් මහා පුරුෂයාගේ පරිපූර්ණ වූ දිය බුබුළක් වැනි ශීර්ෂ ඇති බවත් එය හැමතැන පරිමණ්ඩලාකාර ශීර්ෂ වන බැවින් ‘උණ්හීසසීස’ වන බවත් විස්තර කරයි. මහායාන සාහිත්‍යයට අනුව උණ්ණා මෙන්ම උෂ්ණීෂයද, ලෝකාලෝකකරමින් දහස් සංඛ්‍යාත රශ්මි විහිදුවමින් ප‍්‍රාතිහාර්යපාන බව කියයි. ඒ බුදුරදුන්ගේ අතිවිශේෂ ප‍්‍රඥා මහිමය ප‍්‍රකට කිරීම පිණිස ගන්නා ලද ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් නිසා යැයි කිවහැක. ප‍්‍රධාන වශයෙන් දී.නි. ලක්ඛණ, මහාපාදන සූත‍්‍රයේත්, සුමංගලවිලාසිනී අට්ඨකථාවත්, පජ්ජමධුවේත්, ලලිතවිස්තරය, මහාවස්තුව වැනි මහායාන ග‍්‍රන්ථවලත් සිංහල ධර්මප‍්‍රදීපිකාව, පූජාවලිය වැනි ග‍්‍රන්ථවලත් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහ අනුව්‍යංඤ්ජන පිළිබඳ විස්තර දක්නට ලැබෙයි.
ශ්‍රී ධර්මාලෝක මහා පිරිවෙනේ ආචාර්ය 
රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති දිවුලපැලැස්සේ විමලානන්ද හිමි

Source : www.lankadeepa.lk

පොහොය ඉරිදා ටියුෂන් නවත්වමුද

0 comments

මුහුණ සමග තරහා වී නහය කපා ගැනීම
හෙවත් ටියුෂන් තහනම 


ඉරිදා සහ පොහොය දිනයන්හි පෞද්ගලික පන්ති තහනම් කිරීමේ යෝජනාව යළිත් වරක්‌ විවාදයට භාජන වීමට පටන්ගෙන තිබේ. මෙම යෝජනාව දිගු කලක්‌ තිස්‌සේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්‌ව තිබූ අතර එය ක්‍රියාවට නැංවීම සඳහා විවිධ උපක්‍රමයන් ද භාවිත කරනු ලැබීය. කවුරු කුමන ක්‍රියාමාර්ග ගෙන තිබුණද එම යෝජනාව සක්‍රීයව ක්‍රියාත්මක කරවීමට නම් මේ වන තුරුත් කිසිවකු සමත් වී නැත. රජය ද මේ සඳහා අවංක වුවමනාවක්‌ ඇති බවක්‌ පෙන්නුම් කළත් එය නීතියක්‌ ලෙස සෘජුවම ක්‍රියාවට නැංවිය නොහැකි වාතාවරණයක්‌ යටතේ ඒ සඳහා යෙදිය හැකි විකල්ප ක්‍රියාමාර්ග සොයමින් කල්මරනු පෙනේ.

මෙවැනි විවාදාත්මක යෝජනාවක්‌ කරළියට පිවිසෙන්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ විවිධ හැල හැප්පීම් මධ්‍යයේ වුවද සාර්ථකව ක්‍රියාත්මක වූ අප රටේ දහම් පාසල් ක්‍රමය වර්තමානය වන විට ඉතා සීග්‍ර පරිහානියකට ලක්‌වෙමින් පවතින බැවින්, ඊට එම ඉරණම අත්වීමට බලපෑ ප්‍රබලතම හේතුව ඉරිදා දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීම නිසා, අප රටේ දරුවන් දහම් පාසල් නොගොස්‌ පෞද්ගලික පන්ති කරා ඇදීයැම හේතුවෙනි. ඒ සඳහා ලබාදිය හැකි එකම හා ස්‌ථීරසාර විසඳුම ඉරිදා දිනවල පෞද්ගලික පන්ති තහනම් කිරීම බවට තීරණය කිරීමත් සමගය.

මේවා කාගේ නිර්නායකයන් හා යෝජනාවන් දැයි නොදනිතත් මේ තුළ කිසියම් අනවබෝධයක්‌ හා මුළාවීමක්‌ ඇතැයි අපට සිතෙන්නේ මෙවැනි විසඳුම් මගින් අදාළ ගැටලුවට ස්‌ථීරසාර විසඳුමක්‌ ලබා දෙනවා වෙනුවට එය තව තවත් සංකීර්ණත්වයට පත්කිරීමටත්, ඒ තුළින් වෙනත් හානිකර ප්‍රවණතාවක්‌ ඉස්‌මතුවීමටත් එය ඉවහල් විය හැකි බැවිනි.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළ යුතු මූලික ප්‍රස්‌තුතය වන්නේ පෞද්ගලික පන්ති තහනම් කිරීම නොව දහම් පාසල් නගාසිටුවන්නේ කෙසේද යන්න බව අප විසින් අවබෝධ කර ගත යුතු අතර පෞද්ගලික පන්ති තහනම් කිරීමේ යෝජනාව ඉස්‌මතුවන්නේ ඒවා පිළිබඳ ඇති වෛරයක්‌ නිසා ඒවාට තහංචි පැනවීමට ඇති වුවමනාව නිසා නොවන බවද වටහාගත යුතුය.

මූලික වශයෙන් මෙම ප්‍රස්‌තුත කාරණය හා යෝජනාව පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා මෙවැනි සරල කාලීන උදාහරණයක්‌ යොදාගත හැකිය.

වර්තමානයේ මෙරට පවතින තවත් එක්‌ ප්‍රධාන ගැටලුවක්‌ බවට පත්ව ඇත්තේ වනාන්තරයේ වෙසෙන අලි ඇතුන් මිනිස්‌ ජනාවාසවලට පැමිණ ගැමියන්ගේ ජීවිත හා ගොවි බිම් විනාශ කිරීමය. අලි ඇතුන් මෙසේ ගම් වදින්නේ සීග්‍ර ලෙස ඔවුන්ගේ නිජබිම් අහිමිවීමත් ඒ තුළ ඔවුනට අවශ්‍ය ආහාර නොමැති වීමත් නිසා මිස මිනිසුන් සමග ඇති වෛරයක්‌ නිසා හෝ ගොවි බිම් විනාශ කිරීමට ඇති වුවමනාවන් නිසා නොවේ.

මෙසේ ආහාර හිඟවීම නිසා එම ආහාර සොයා ගම්වදින අලි ඇතුන් නැවැත්වීමටනම් ගම්වල ඇති හේන් වගාවන් විනාශ කළ යුතු බවත් හේන් වගාවන් නවතා දැමිය යුතු බවටත් කිසිවකු යෝජනා කරන්නේ නම් එය කෙතරම් හාස්‍යජනක යෝජනාවක්‌ වනු ඇත්ද?

අනාදිමත් කාලයක්‌ තිස්‌සේ අප රටෙහි ක්‍රියාත්මක වූ දහම් පාසල් ක්‍රමය මෙරට ජනතාවට ගුණගරුක, සදාචාර සම්පන්න උදාර සමාජ සංස්‌කෘතියක්‌ උරුම කර දීමට යම් මට්‌ටමකින් හෝ දායකත්වයක්‌ සැපයූ බව රහසක්‌ නොවේ. පවතින තරගකාරී අධ්‍යාපන රටාව හා වෙනත් විවිධ බලවේගයන් හේතුවෙන් එවන් අගනා මෙහෙවරක්‌ ඉටුකරනු ලැබූ දහම් පාසල මේ වන විට දැඩි පරිහානියකට පත්වෙමින් පවතින බව දනිමු. අනාගතයේ බිහිවන සමාජය ශ්‍රේෂ්ඨ ගුණගරුක ජනතාවකගෙන් හෙබි සමාජයක්‌ බවට පත්කරලීමට නම් මෙම ව්‍යසනය හැකි ඕනෑම පියවරක්‌ මගින් වහා මැඬ පවත්වා දහම් පාසල යළි නගාසිටුවිය යුතු බවට කිසිදු විවාදයක්‌ නැත. එහෙත් ඒ සඳහා කළ යුත්තේ වල්අලි ගම් වැදීම නැවැත්වීමට වගාබිම් විනාශ කළ යුතු යෑයි යෝජනා කරන්නා සේ පෞද්ගලික පන්ති තහනම් කළ යුතුයෑයි හඬ නැඟීම නොව දරුවන් දහම් පාසල් නොගොස්‌ පෞද්ගලික පන්තියට යන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි විමර්ශනාත්මකව සොයා බැලීමයි.

පෞද්ගලික පන්ති ගුරුවරයා පිළිබඳ සමාජය තුළ පවතින පොදු ප්‍රතිරූපය එතරම් සුබදායී නොවුවද කිසිදු පෞද්ගලික පන්ති ගුරුවරයකුට ඉරිදා දිනවල බලහත්කාරයෙන් දරුවන් තම පන්තිවලට ගෙන්වාගත නොහැකිය. දරුවන් පංතිවලට යන්නේ හා දෙමාපියන් තම දරුවන් පංතිවලට යවන්නේ සිය කැමැත්තෙන්ම මිස බලහත්කාරයෙන් නොවේ. යම් හෙයකින් මෙරට සියලු දරුවන් ඉරිදා දිනයෙහි පෞද්ගලික පන්තිවලට නොයා සිටියහොත් ගුරුවරුන්ට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක්‌ නැත. එබැවින් මෙම ගැටලුවේදී එම ගුරුවරුන් වැරැදිකරුවන් බවට පත්කරමින් ඔවුනට දෙස්‌ දෙවොල් තැබීම එතරම් සාධාරණ නොවේ.

මෙම සංකීර්ණ වාතාවරණය යටතේ අපගේ අවධානය යොමු වියයුතු ප්‍රධානතම කාරණය වන්නේ මෙතරම් හැල හැප්පීම් මධ්‍යයේ වුවද දරුවන් දහම් පාසල අතහැර පෞද්ගලික පන්තිය වෙත ඇදී යන්නේ කුමන හේතුවක්‌ නිසාද යන්නයි.

කිසියම් දෙයක්‌ කෙරෙහි කිසිවකුගේ නැඹුරුවක්‌ ඇතිවීමේදී ඊට ප්‍රධාන වන්නේ එම පුද්ගලයාට ඒ පිළිබඳව ඇති අවශ්‍යතාවයයි. මෙහිදී ද සිදුවී තිබෙන්නේ දරුවන්ට දහම් පාසලට වඩා පෞද්ගලික පන්තියේ අවශ්‍යතාව ප්‍රබල වීම බව ඉතා පැහැදිලිය. එබැවින් මෙම ගැටලුවට ස්‌ථීරසාර විසඳුමක්‌ ලබා දීමට නම් කළයුතු වන්නේ දහම් පාසල සහ දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ගේ අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක්‌ බවට පත් කිරීමය. එවිට නිරායාසයෙන්ම ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නතර වෙනවා ඇත.

දහම් පාසල හා දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් කිසියම් විටිනාකමක්‌ ලබාදීම සඳහා සැලකිය යුතු මට්‌ටමේ නොවුවද වරින්වර යම් යම් යෝජනා ඉදිරිපත් වුවත් ඒ කිසිදු යෝජනාවක්‌ ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමට මේ වනතුරු කිසිවෙක්‌ ක්‍රියාකර නොමැති බවද අපි අවංකව පිළිගත යුතුව ඇත. එසේම පෞද්ගලික පන්ති තහනම් කිරීමේ යෝජනාව එම අනෙකුත් යෝජනා කිසිම වග විභාගයකින් තොරව කුණු කූඩයට දැමීම සඳහා කදිම උපකාරකයක්‌ කරගෙන ඇති බව ද පෙනේ.

මෙසේ ප්‍රශ්නයේ යථාර්ථය වටහා නොගෙන යම් හෙයකින් ඉරිදා දිනවල පෞද්ගලික පන්ති තහනම් කළහොත් එතැන් පටන් මෙරටේ සියලුම දරුවන් නියත වශයෙන්ම දහම් පාසල් වෙත යනු ඇතැයි අපට නිශ්චය කළ හැකිද? එසේම ඔවුන් මෙම කාලය වෙනත් ඵලදායී නොවන කාර්යයන් සඳහා යොදා ගැනීමට ඉඩ කඩක්‌ නොවන්නේ යෑයි ද අපට සහතික විය හැකි ද?

කවුරු කුමන ආකාරයේ විග්‍රහයන් ඉදිරිපත් කළ ද දහම් පාසල් අධ්‍යාපනය යනු දරුවකුගේ සාමාන්‍ය අධ්‍යාපන රටාව තුළ හෝ බාහිර සමාජය තුළ හෝ තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ හැකි සාධකයක්‌ බවට මේ වනතුරුත් පත්වී නොමැත. එබැවින් එය මෙරට ජාතික අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය සාධකයක්‌ බවට පත්කළ යුතු අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව විධිමත් වැඩ පිළිවෙළක්‌ සකස්‌ කළ යුතුය. එකම දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක වුවද මෙම අමාත්‍යාංශ දෙක තුළ කිසිදු අවස්‌ථාවක කිසිදු සම්බන්ධීකරණ ක්‍රියාවලියක්‌ සිදුවන්නේ නැත. ආගමික කටයුතු අමාත්‍යාංශය / බුද්ධසාසන අමාත්‍යාංශය හා අදාළ දහම් පාසල් තමන්ටම අවේණික වූ ක්‍රමවේදයකට අනුව දහම් පාසල් පවත්වාගෙන යන අතර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සඳහා කිසිදු මැදිහත්වීමක්‌ හෝ මඟපෙන්වීමක්‌ සිදු නොවේ. එබැවින් දරුවන්ට නිරවුල් හා සාර්ථක අංග සම්පූර්ණ අධ්‍යාපනයක්‌ ලබාදීමට ද මෙම සම්බන්ධතාව ඉවහල් වනු ඇත.

මෙහිදී මූලික වශයෙන්ම කළයුතු වන්නේ ආගමික කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ උපදේශකත්වය හා මගපෙන්වීම ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්‍ෂණය ද යටතේ දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය තරගකාරී අධ්‍යාපන රටාවට ගැලපෙන පරිදි ගුණාත්මකව වර්ධනය කිරීමය. ඒ සඳහා දහම් පාසල් ගුරු භවතුන්හට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විධිමත් පුහුණුවක්‌ ලබාදිය හැකිය. ඉන් අනතුරුව දහම් පාසල සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේම එක්‌ අංශයක්‌ බවට පත්කළ යුතු අතර එමගින් ඉරිදා දිනය ද පාසල් දිනයක්‌ සේ සලකා කටයුතු කළ හැකිය. ඒ සඳහා ආගම විෂය පාසලෙන් ඉවත්කර දහම් පාසල වෙත පවරා එහි අධීක්‍ෂණය සඳහා පාසල්වල ආගම විෂය උගන්වන ගුරුවරුන් හෝ උපාධිධාරී ගුරුවරුන් හෝ යොමු කරවිය හැකිය.

මේ තුළින් අදහස්‌ වන්නේ පාසලේ පවතින අධ්‍යාපන ක්‍රමවේදය එහෙම පිටින්ම දහම් පාසල වෙත ආරෝපණය කිරීම හෝ දහම් පාසල, පාසල වෙත රැගෙන යැම හෝ නොවන බව අවධාරණය කළ යුතුය. දහම් පාසල නම් ආයතනය තුළ පවතින ඊටම අනන්‍ය වූ ක්‍රමවේදයන් එලෙසම හා ඊටත් වඩා විධිමත්ව පවත්වා ගනිමින් ඒවා මෙහෙයවනු ලබන ගෞරවණීය ප්‍රධානීන් වහන්සේලාගේම අධීක්‍ෂණය යටතේ මෙතෙක්‌ පැවැති සිද්ධස්‌ථානවලම ඒවා ක්‍රියාත්මක විය යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ යුත්තේ පාසල හා දහම් පාසල අතර ඒකාබද්ධ පරිපාලන ව්‍යqහයක්‌ ගොඩනැඟීමත් අදාළ ප්‍රදේශවලට අයත් පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් හරහා එය සම්බන්ධීකරණය කරමින් අධීක්‍ෂණය කිරීමත් පමණි. එසේම මෙම ආගමික අධ්‍යයන පිළිවෙතෙහි න්‍යායාත්මක හා ප්‍රායෝගික අංශයන් සංකලනය වන පරිදි ඇගයීමට ලක්‌ කිරීමේ විශේෂ ක්‍රමවේදයක්‌ සකස්‌ කළ යුතු අතර එය පාසල් විෂය මාලාවේ කඩඉම් විභාග සඳහා තීරණාත්මක සාධකයක්‌ බවට ද පත්කළ යුතුය.

මෙසේ දහම් පාසල සාමාන්‍ය පාසල් අධ්‍යාපනයේම අංශයක්‌ බවට පත්කළ හැකි වුවහොත් එම වැඩපිළිවෙළ හරහා මෙරට පාසල් යන සෑම දරුවකුටම සිය ආගම හා සදාචාර වර්ධනය පිළිබඳ පරිපූර්ණ නිපුනතාවක්‌ අනිවාර්යයෙන්ම ලබාදිය හැකිවනු ඇත. එසේම ඒ තුළින් පාසල, පාසල් දරුවා සහ ආගමික සිද්ධස්‌ථාන අතර නොබිඳෙන දැඩි සම්බන්ධතාවක්‌ ද ගොඩනැඟෙනු ඇත. එය අප හැමදාමත් අපේක්‍ෂා කරන සදාචාර සම්පන්න මතු පරපුරක්‌ අප රට තුළ නිර්මාණය කිරීමේ කාර්යය සාර්ථක කර ගැනීමටත්, දහම් පාසල් හා ආගමික සිද්ධස්‌ථානය හැම ජනකොටසක්‌ වෙතම වඩ වඩාත් සමීප කරවීමටත් බෙහෙවින් ඉවහල් වනු ඇත.

මේ අදහස්‌ හා යෝජනා කිහිපයක්‌ පමණි. මේවා විවාදාත්මක හා ආන්දෝලාත්මක විය හැකිය. එසේම ඉතා පහසුවෙන් ආවාට ගියාට ක්‍රියාත්මක කළ නොහැකි ඒවාද විය හැකිය. එහෙත් ගැටලුවේ යථාර්ථය නිවැරැදිව අවබෝධකර නොගෙන පෞද්ගලික පන්ති තහනම මතම එල්බගෙන සිටින වගකිවයුත්තන් හා බලධාරීන් වහා මෙවැනි අදහස්‌ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව ඇත. එසේ නොමැතිව මුහුණ සමග තරහ වී නාසය කපා ගන්නා සේ යම් හෙයකින් පෞද්ගලික පන්ති තහනම් කිරීම ක්‍රියාත්මක කළ ද දහම් පාසලෙහි බිඳ වැටීම ඒ තුළින් වළක්‌වාලිය නොහැකි වනු ඇත. අවසානයේ මෙසේ ඒ පිළිබඳ කතා බහ කිරීමට තරම්වත් දහම් පාසල නමින් අර්ථාන්විත වූ ධර්මායතනයක්‌ මෙරට අනාගත පරපුර වෙනුවෙන් මතු දිනයකදී ඉතිරි නොවනු ඇත.

නන්දන ශ්‍රී පතිරණ
 

වැලිවිට සරණංකර සඟ රජ හිමියෝ ..

0 comments


සිංහල බෞද්ධයාට මහත් මෙහෙයක් කල වැලිවිට සරණංකර හිමියෝ ..


මහනුවර වැලිවිට ගමේ සිංහල මුදලිවරයකු ගේ පුතකු වූ සරණංකර හිමිගේ ගිහි කල පෙළපත් නාමය වූයේ කුලතුංග යන්නයි. උන්වහන්සේ උපත ලැබුවේ 1698 ජුනි 18 වන දා වැලිවිට ගමේ දී ය. කුඩා වියේ දී ගමේ විසූ ප‍්‍රභූවරයකුගේ මගපෙන්වීමෙන් අකුරු උගත් කුලතුංග කුමරුවා සූරියගොඩ නම් විහාරයේ දී වැලිවිට සරණංකර හිමි ලෙස ටික කලකින් පැවිදි විය.මහජනතාව විසින් “ගණින්නාන්සේලා ලෙස භික්ෂූන් වහන්සේලා හැඳින්වීමට පටන් ගත් යුගයක් වූ එම යුගයේ සැබවින් සඟ සසුන පිරිහී ගිය යුගයක් විය. බුදුන් වහන්සේ අකැප යැයි ලෙස වදාරණ ලද බොහෝ කරුණු ජීවිකාව වශයෙන් කරගෙන ගිය භික්ෂූන් වහන්සේලා ජනතාව අතර පිරිහීමට ලක් වූහ. සරණංකර හිමියෝ එම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කළ සේක. මුලින්ම උන්වහන්සෙ එවකට අතුරුදන් වූ චාරිත‍්‍රයක් වූ පිණ්ඩපාත ක‍්‍රමය ආරම්භ කරන ලදහ. එනිසාම උන්වහන්සේට “පිණ්ඩපාතික” යන විශේෂණ පදය හිමි වූහ.සරණංකර හිමිගේ මෙම ආදර්ශවත් දිවිපෙවෙත ඇලුම් කළ තවත් සිල්වත් භික්ෂූන් වහන්සේ කිහිප දෙනෙකුම උන්වහන්සේට සහයෝගය දැක්වීමට එකතු වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ඉතා ඈත පෙ

දෙස් වලින් පවා කුලදරුවන් සසුනට ඇතුළු වී ආදර්ශවත් දිවි පෙවෙතක් ගත කිරීමයි. යකැදුරුකම් පවා කරමින් සිටි දුසිල්වත් භික්ෂූන්ට මෙය හිරිහැරයක් විය.

එම භික්ෂූන්ට ජනතාවගෙන් වන වරප‍්‍රසාද අඩු විය. එනිසා කෝපයට පත් වූ දුසිල්වත් භික්ෂූන් සරණංකර හිමියන් එකල රජ කළ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු සමග බේදකර වූහ. එහෙත් දිනක් පඬිවරයකු සමග සාකච්ඡා කරවීමට සුදුසු භික්ෂුවක් නොවූයෙන් රජුට සරණංකර හිමිගේ සහය පැතීමට සිදු විය. එහි දී රජු, උන්වහන්සේ පිළිබඳ පැහැදී නැවත එම හිමි සමග උරණ නොවී සිටීමට කටයුතු කළහ. ඉන් පසු රජ වූ රජු ද සරණංකර හිමිගේ සිල්වත් භික්ෂූ ජීවිතයට ගරු කරමින් කටයුතු කළේය. ඉන් අනතුරුව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ සමයේ සරණංකර හිමිගේ මැදිහත්වීමෙන් සියම් රටේ සිට උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේලා මෙරටට ගෙන්වා ගැනීමට හැකි විය. එම භික්ෂූන් වහන්සේලා වෙතින් සරණංකර හිමි ඇතුළු අනෙකුත් සිල්වත් භික්ෂූන් වහන්සේලා උපසම්පදාව ලැබූහ. ඉන් අනතුරුව “සංඝරාජ” පදවියක් ද රජතුමා විසින් උන්වහන්සේට පිරිනමන ලදී. එතැන් සිට “වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ” යන නමින් උන්වහන්සේ හඳුන්වන්නට යෙදිණි.භාෂා කිහිපයක් දැන සිටි සරණංකර හිමියෝ මහනුවර විහාර අතර තිබූ විරසක භාවය දුරු කිරීමට කටයුතු කළහ. එසේම රජරට වෙහෙර විහාර ප‍්‍රතිසංස්කරණය කිරීමට ද, ධර්ම ශාස්තී‍්‍රය ග‍්‍රන්ථකරණයට ද මුල් තැනක් ලබා දුන්හ. මහා බෝධි සන්නය, රාජ මාලාව, සාරාර්ථ සංග‍්‍රහය, අභිසම්බෝධි අලංකාරය ආදිය ඉන් කිහිපයකි. මීට අමතරව භික්ෂු ශිෂ්‍යයන් පුහුණු කිරීම, ධර්ම දූතයන් පුහුණු කරවීම ආදිය ද උන්වහන්සේ අතින් සිදු වූ සේවාවන් වේ.

බුද්ධ වර්ෂ හෙවත් ශක වර්ෂ ක්‍රමය

0 comments

අද අප භාවිත කරන්නේ බටහිරයන්ගේ දිනය දැමීමේ ක්‍රමය (ක්‍රිස්තු වර්ෂ) වන අතර, සිංහල බෞද්ධයාගේ දිනය දැමීමේ ක්‍රමය වන්නේ බුද්ධ වර්ෂ හෝ ශක වර්ෂ (සිංහල අවුරුද්ද) ක්‍රමයයි. සිංහල වර්ෂ ක්‍රමය අද භාවිතයේ නොමැති නිසාම, බොහෝ දෙනෙක් මෙම ක්‍රමය වැරදියට යොදා ගනු පෙනේ. උදාහරණයක් ලෙස ඇතැම් අය සිතා සිටින්නේ "උඳුවප්" මාසය හා "දෙසැම්බර්" මාසය හරියට ම සමපාත වන බවයි. මේ අනුව "2012 දෙසැම්බර් 01" යන දිනය, ඔවුහු "බුද්ධ වර්
ෂ 2556 උඳුවප් මස 01 වැනිදා" ලෙස ලියති. මෙය වැරදිය. මේ පිළිබඳ නිවැරදි විස්තරයක් දෙන නිමේෂ් ජානක මහතා විසින් ලියන ලද ලිපියක් "සිංහල බෞද්ධයා" වෙබ් අඩවියේ පලවී ඇත. ඔබ සැමගේ දන ගැනීම පිණිස අපි එය මෙසේ පල කරමු.
__________________________________________________
අසිරිමත් බෞද්ධ දින දර්ශනය බෞද්ධයන් වන අපට පමණක් ආවේනික වූවකි. මෙහි මූලාශ්‍රය පිළිබඳ පළමු ඉඟිය හමුවන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් කෙරුණු පළමු සංගායනාවේදීය. ඒ බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගිය තැන සිදුවූ බව ශාසන ඉතිහාසය සාක්ෂි දරයි. එතැන් පටන් සාම්ප්‍රදායිකව බෞද්ධ දින දර්ශනය සඳහා මූලාශ්‍රය වී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණය යි.

බෞද්ධ දින දර්ශනයට අනුව දින දැමීමේ පිළිවෙල අතිශයින්ම සංවිධිතය. කලාත්මකය. දින දැමීමේ පිළිවෙල පුරා පිළිබිඹු වන්නේ අමිශ්‍ර වූ සිංහල ලකුණුය. සූර්ය මාස ක්‍රමය වෙනුවට චන්ද්‍ර මාස ක්‍රමය හෙවත් සඳෙහි ‘කලා’ හෙවත් ‘තිථිය’ ආදේශ කොට බිහිවූවකි. ඉංග්‍රීසි දින දැමීමේ ක්‍රමය සමඟ සසඳන කල දිනය, දවස ආදිය සවිස්තරව මෙහි අන්තර්ගතය.

උක්ත ක්‍රමය යටතේ ආරම්භය මෙසේ සටහන් විය යුතුය,

‘ශ්‍රී බුද්ධ වර්ෂ . . . . . . . ‘
මෙහි ‘ශ්‍රී’ යනු බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේගේ පාරිභෝගික වස්තූන්ටත් පමණක් ආවේනික විශේෂණ පදයකි. ජය ශ්‍රී මහ බෝධිය, ශ්‍රී පාදය ආදිය මේ සඳහා උදාහරණ හැටියට දැක්විය හැකිය. එනිසා බෞද්ධ දින දර්ශනය සඳහාද මෙම න්‍යාය බැහැර නොවී ඇති බව පැහැදිළි වේ.

දෙවනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්මවූ වර්ෂ ගණන දැක්විය යුතුය. අදට වසර දෙදහස් පන්සිය පනස් පහක් ඉක්ම වී ඇත.

තෙවනුව සිංහල ක්‍රමයට මාසය දැක්වීම සිරිතයි. සිංහල මාස ක්‍රමය පහත දැක්වේ,

දුරුතු
නවම්
මැදින්
බක්
වෙසක්
පොසොන්
ඇසළ
නිකිණි
බිනර
වප්
ඉල්
උඳුවප්

මාස දැක්වීමේදී සැළකිය යුතු කරුණ නම්, දැනට භාවිතා කෙරෙන ඉංග්ලිශි ක්‍රමය මෙන් නොව සිංහල මාස ගැණෙනුයේ සඳෙහි තිථියට අනුව පොහොය ගෙවීම සහ පොහොය ලැබීම ආදී කොට ඇති චන්ද්‍ර මාස පිරීමෙන් බවයි. එය පහත දැක්වේ,
භාවිතා කිරීමේ පහසුව තකා අමාවක දින සිට ගැණෙන පළමු දිනයේ සිට නිදර්ශන පෙන්වීම සාමාන්‍ය සිරිතයි. අමාවක දින යනු සඳ නොපෙනෙන දිනයයි. ඉන් එළඹෙන පළමු දිනයේ සිට සඳ පිරෙන කාලය නොහොත් පුර පක්ෂයයි. පෑළවිය යනු සඳෙහි කුඩා තීරුවක් පමණක් පෙනෙන දිනයයි පිළිවෙලින්,

පෑළවිය – පළමු දිනය
දියවක – දෙවන දිනය
තියවක – තෙවන දිනය
ජලවක – සිව්වෙනි දිනය
විසේනිය – පස්වෙනි දිනය
සැටවක – සයවෙනි දිනය
සතවක – සත්වෙනි දිනය
අටවක – අටවෙන දිනය – මෙය පොහොය දිනයකි
නවවක – නවවෙනි දිනය
දසවක – දසවෙනි දිනය
එකොළොස්වක – එකොලොස්වෙනි දිනය
දොළොස්වක – දොළොස්වෙනි දිනය
තෙළෙස්වක – දහතුන්වෙනි දිනය
තුදුස්වක – දහහතරවෙනි දිනය
පසළොස්වක – පහලොස්වෙනි දිනය – මෙයද පොහොය දිනයකි

පුර පක්ෂයට අනතුරුව එළඹෙන්නේ අව පක්ෂයයි. එයද පිළිවෙලින් පෑළවිය, දියවක ආදී වශයෙන් ගැනේ. මෙහි ඇති විශේෂය නම් සඳ පිරීමේ හෝ පිරිහීමේ තිථියන් අනුව පුර සහ අව යනුවෙන් පක්ෂ දෙකක් තිබීමයි.

අවසනුව දිනය දැමීම කළ යුතුය. හෙළ ක්‍රමයට දිනය දමන පිළිවෙල පහත දක්වා ඇත,

සඳුදා – සඳුදා
කුජදා – අඟහරුවාදා
බුධදා – බදාදා
ගුරුදා – බ්‍රහස්පතින්දා
කිවිදා – සිකුරාදා
ශනිදා – සෙනසුරාදා
රිවිදා – ඉරිදා

මේ පිළිවෙලට දින දැමීමේදී ඉහත සංග්‍රහ කළ සියලු දේ මෙසේ අවසාන වශයෙන් ලියැවිය යුතුය,

ශ්‍රී බුද්ධ වර්ෂ (සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්මගිය වසර දැක්විය යුතුය) … වැන්නේ (මාසය දැක්විය යුතුය) …මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය ) …නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)

උදාහරණයක් වශයෙන් අද දිනයට ගැලපෙන පරිදි ඉහත සියලු දේ දක්වා තැබේ.

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය පනස් පස් වැන්නේ ඉල්මස අව සැටවක නම් තිථිය ලත් බුධදා.

අදට භාවිතයේ නොමැති නමුත් අතීතයේ හෙළ උවසු උවසියන් සතර පොහොය සාදා ඇති පිළිවෙල අනාගත පරපුරටද උරුම කරදීම අපගේ යුතුකම විය යුතුයි.

(http://sinhalabuddhist.com/2011/11/bauddha-dina-darshanaya/)

අන්න බලන් නරසීහ පියා...

0 comments


අන්න බලන් නරසීහ පියා...

යශෝදරාවන් සිය පුතුට බුදු හිමි හඳුන්වා දෙමින් කළ ප්‍රකාශයක් ඇසුරෙන් රචිත නරසීහ ගාථා පිළිබඳ ඇගයීමකි මේ.
තිලකරත්න
කුරුවිට බණ්ඩාර
‘සිළුමිණ’ පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරක
අවශේෂ ප්‍රජාව පරදවා ජය ගන්නවාට වඩා තමා තුළ පවත්නා රාග, ද්වේෂ, මෝහාදි ක්ලේශ ධර්මයන් මැඩ පවත්වා ආත්ම විජය ලැබීම හෙවත් තමා දිනාගැනීම ඒකාන්තයෙන් ම ශ්‍රේෂ්ඨ ය. නිබඳ සංයත ව සංයමයෙන් යුතු ව හැසිරෙන, ආත්ම දමනය ඇති කරගත් පුද්ගලයාගේ ඒ ආත්ම විජය පරාජය කරන්නට දෙවියකු වත්, ගාන්ධර්වයකු වත්, මාරයා වත්, බ්‍රහ්මයා වත් සමර්ථ නො වේ යැ, යි සහශ්‍ර වග්ගයෙහි සඳහන් වෙයි.
රාග, ද්වේෂ, මෝහාදි ආශ්‍රවයන් නිසා සසර ඇටවූ මලපුඬුවල හසු වෙමින්, නොදැමුණු, නොහික්මුණු සිත් නිසා දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේවයෙන් අපමණ වදවේදනා විඳිමින්, වෛරයෙන් ක්‍රෝධයෙන් ලොව ගිනි ගන්වමින්, අක් මුල් නැති සසර කතරේ අතරමං ව නන්නත්තාරේ යන අප්‍රමාණ සත්ත්වයන් තුළ බුද්ධ ප්‍රසාදයත්, ශ්‍රද්ධා භක්තියත් වඩනු පිණිස කවීන් විසින් බඳින ලද්දා වූත්, ගොතන ලද්දා වූත් ප්‍රබන්ධාවලිය එක ම බුදු පුද පෙරහරක් සේ සැලකිය යුතු වන්නේ ය.
සව්නේ ගෙවා දත් හට, ස්වකීය හෘදය මන්දිර ගඳකිළි කොටැගත් කවීන්ගේ, අනල්ප ප්‍රතිභාව විකසිත වීමට බුද්ධ භක්තිය මහත් පිටුබලයක් වූ බවට, බෝසත් ගුණයට – බුදු ගුණයට ආකර වූ සාහිත්‍යාවලිය ජීවමාන සාධකයක් වන්නේ ය.
මූර්ධන් බුද්ධං නමත්වං ශ්‍රවණ ගෘනු
සදා ධර්මමද් වෛධමාදි
ප්‍රොක්තං සර්වඥ රූපං නයන නිරුපමං
පශ්‍ය ජඝ්‍රාංඝ්‍රීපද්ඝ්‍රමම්
ඝ්‍රාණං ත්වං චාර්ක බන්ධොඞස්තුහි ස්ඛිරසනෙ
ශ්‍රී ඝනම් පූජයෙථාස්
සිද්ධ ප්‍රාණෙව්‍රජාංග්‍රෙ
ජිනදසනමදස්සද්ගුණං චිත්ත වින්න්‍ය
මෙම සකු භක්ති ගීතය කොතරම් චමත්කාරජනක ද?
‘මාගේ මුදුන, ඔබ බුදුන් වඳින්න. සවන, හැමදා බුදු දහම වඳින්න. නයන, නිරුපම සර්වඥ රූපය බලා වඳින්න. නැහැය, බුදු සිරිපා පියුම් සිඹින්න. සිත බුදු ගුණ ම සිතන්න.’
පාලි භාෂාවෙන් ලියැවුණු බුදු ගුණ ගී අතර වඩාත් ප්‍රචලිත වූ ද චිර සම්භාවිත වූ ද රස චෂකයක් වූ ද නරසීහ ගාථා අෂ්ටකයක් ඇත්තේ ය (මෙහි එය නවයක් වී ඇත). ප්‍රථම බුදු ගුණ ගී ගායනය සේ සැලකෙන මෙම ගාථාවලිය, යශෝදරා දේවීන් විසින් කරනු ලබන වර්ණනයක් පරිද්දෙන් රචිත ය. සිදුහත් කුමරා බුදු පදවි ලැබ මුල් වරට කිඹුල්වත් පුරට වැඩම කළ අවස්ථාවේ මහ සඟ ගණ පිරිවරා පිඬු සිඟා වඩිනු දුටු යශෝදරා දේවිය විසින් මෙම නරසීහ ගාථා ගායනා කෙරිණැ යි සැලකේ. මේ ගාථාවලිය සඳහන් වන පැරණි ම ග්‍රන්ථය වූකලි පූජාවලිය යි.
එහි රසය වඩාත් උද්දීපනය වනුයේ බිම්බා දේවිය ස්වකීය පුත්‍රයාට, රහල් කුමරුන්ට පියාණන්දෑ පිළිබඳ කියන විස්තර වර්ණනයේ චමත්කාරයෙනි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණත්, අශීත්‍යනුව්‍යංජනයත් ගෙන හැර දක්වා ඇය රහල් පුතුට කියන්නේ ‘ඒසහි තුය්හ පිතා නරසීහෝ’ – ‘හේ ඔබැ වේ ය පියා නරසී වූ’ යනුවෙනි.
චක්ක වරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ
ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
ලෝක හිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරනාතෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා නරසීහෝ

ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
ඉන්දධනූ අභිනීල භමූකෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහ හනූ මිග රාජ සරීරෝ
කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධ ලළාටෝ
ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ගච්ඡති නීල පථේ විය චන්දෝ
තාර ගණා පරිචේඨිත රූපෝ
සාවක මජ්ජගතෝ සමණින්දෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

ධර්ම පාඨශාලාවන්හි ධර්මය හදාරන දරුවන් විසින් වනපොත් කර මධුරස්වරයෙන් ගයනු ලබන මෙම ගාථාවලිය අතිශය මිහිරි බුද්ධ ශ්‍රී වර්ණනයකි (මීට නෑකම් කියන, සංස්කෘත භාෂාවෙන් රචිත නරසීහ ගාථාවලියක් ද ඇත). පූර්වෝක්ත, ප්‍රචලිත නරසීහ ගාථා පොලොන්නරු අවදියේ නිබන්ධිත යැ යි අයෙක් කියති. මෙම පාලි ගාථාවලියේ අරුතැති එම විරිතින් ම ලියැවුණු සරල වූ ද, මටසිලිටි වූ ද ශෛලියකින් රචිත සිංහල නරසී ගී පන්තියක් ද ඇත. ඒ මෙසේ ය:

සක් ලකුණෙන් වර රත් සොඳ පාදේ
ලස්සණයෙන් වැඩුණූ විළුඹැත් දික්
සේමර සත් බැබැළූ දෙපතුල් ඇත්
මේ තෙම තා පිය වේ නරසී වූ

සක් කුමරා වර සිව්මැලි වූ ඒ
ලස්සණයෙන් පළ පුන් සිරුර ද ඇත්
ලෝ වැඩෙහී ඇලුණූ නරවීරා
මේ තෙම තා පිය වේ නරසී වූ

පුන් සස ලක් සඳ වන් මුහුණක් ඇත්
දෙව් මිනිසුන් පිය වූ නරනාතා
මත් ගිජිඳුන්ගෙ විලස් ගමනැත්තේ
මේ තෙම තා පිය වේ නරසී වූ

කැත් කුලයෙන් පළ වූ කුලවත් වූ
දෙව් මිනිසුන්ගෙ වැඳුම් ලද පා ඇත්
සීල සමාදි ගුණෙන් සිත තැන්පත්
මේ තෙම තා පිය වේ නරසී වූ

දික් ව ද උස් ව ද පිහිටිය නාසේ
ගෝ පිය වන් පිය වන් නිලු වන් නෙත්
දෙව්දුනු තුල් අබිනිල් දෙබැමින් යුත්
මේ තෙම තා පිය වේ නරසී වූ

ආවට වූ මට වූ ගෙල ඇත්තේ
සී හනු යුත් මුව රාජ සරීරැත්
රන් පැහැ යුත් සිරියෙන් පැහැපත් වූ
මේ තෙම තා පිය වේ නරසී වූ
බෝ සිනිඳූ ගැඹුරූ මියුරූ ගොස්
හිංගුල කන්ද සෙ රත් යහපත් දිව්
පෑ කොඳ වන් සම වූ සතළිස් දත්
මේ තෙම තා පිය වේ නරසී වූ

යේ ද අහස්හී පුන් සඳ වාගේ
යම් උතුමෙක් තරුවෙක් වට ලෑ වූ
සාවකයන් මැදෙහී වඩනා වූ
මේ තෙම තා පිය වේ නරසී වූ

රහල් කුමරුන්ට බුදු රදුන්ගේ රූප ලාවණ්‍යය වර්ණනය කළ මුත් උන් වහන්සේ ගුණවත් භාවයේ පුංජයක් ලෙස ද, දිව්‍ය බ්‍රහ්මයන්ගේත් මනුෂ්‍යයන්ගේත් වන්දනයට භාජන වූ පූජාතිපූජනීය වූ වන්දනීයාභිවන්දනීය වූ නරසීහයාණන් වහන්සේ ලෙස ද නිරූපණය කැරේ.
කෙසේ වෙතත් සිත කෙලෙස් රජසින් විනිර්මුක්ත කොටැ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටුවනු පිණිස මධුර ස්වරයෙන් ගායනා කළ හැකි පරිදි කවි කුරවීකයන් විසින් රචනා කරන ලද නිබන්ධ අතර මේ නරසීහ ගාථාවලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. 

රතන සූත්‍රයෙන් කළහැකි හාස්කම්

0 comments



1. කොටිසතසහස්සේසු - චක්කවාලේසු දේවතා
යස්සානං පතිගන්හණ්ති - යඤ්ච වේසාලියං පුරේ
රෝගාමනුස්ස දුබ්භික්ඛ - සම්භූතං ත්‍රිවිධං භයං
ඛිප්පමන්තරධාපෙසි - පරිත්තං තං භණාමහෙ

යානීධ භූතානි සමාගතානි - භුම්මානිවා යානිව අන්තලික්ඛෙ
සබ්බේව භූතා සුමනා භවන්තු - අථොපි සක්කච්ච සුනන්තුභාසිතං
තස්මාහි භූතානි සාමේථ සබ්බේ - මෙත්තං කරොථ මානුසියා පජාය
දිවාච රත්තෝච හරන්තියෙ බලිං - තස්මාහි නෙ රක්ඛථ අප්ප මත්තා

මෙම ගාථා දෙකින් පිරිත් කරන ලද ඉස්සෝදා නා පිරිසිදු වස්ත්‍ර හැඳ චෛත්‍යස්ථානයකට පැමිණ තිසරණ සහිත පන්සිල් පිහිටුවා එක් අරමුණකින් යුක්තව මල් පහන් සුවඳ දුම් සහිතව ගිතෙල් පහනක් බුදුන්ට පුදා තමාගේ අභිමතය ඉෂ්ඨ වේවා යි අධිෂ්ඨාන කොට දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කර මෙම ගාථා 108 වරක් සඣ්ඣායනා කරනු.කැමැත්ත සිහිනෙන් පෙනෙයි.තවද යක්දෝස වලට පිරිත් කර නූල් බඳිනු.බිළිඳුන්ගේ බාලගිරි දෝසයට කිරිතෙල් මතුරා දෙනු.



2. යං කිඤ්චි විත්තං ඉධවා හුරංවා - සග්ගේසුවායං රතනං පණීතං
නනො සමං අත්ථි තථාගතේන - ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මෙම ගාථාවද මුලින් කී පරිදි විහාරස්ථානයකට ගොස් කටයුත්හු කොට,තමන්ගේ අභිමතය අධිෂ්ඨාන කරමින්,ගඟකින්න් හෝ මුහුදු වෙරළකින් ලබා ගත් වැලි 108 වරක් මතුරා ඉසිනු.අමනුෂ්‍ය උවදුරු දුරුවේ.භය දුරුවේ.ඊතන ගසක් කඩා 108 වරක් පිරිත් කර හිසෙහි පැළඳ ගිය විට භය දුරුවේ.බාල දරුවන් හඬන කල පිරිසිදු අලුවලට මතුරා තිලක තියනු.ඇඬීම නවතී.



3. ඛයං විරාගං අමතං පණීතං - යදජ්ඣගා සක්‍යමුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි - ඉදම්පි ධම්මේ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හෝතු

මෙම ගාථාවද පෙර පරිදිම පිළිවෙත් කොට සීලාදී ගුණ පිහිටවා 108 වරක් සඣ්ඣායනා කොට හඳුන් වලට මතුරා ඉනෙහි තබා යනු.අමනුෂ්‍ය උවදුරු ඇති නොවේ.සර්ප විෂට මතුරා ගානු.විෂ බසී.108 වරක් කීමෙන් හිසරුජා දුරුවේ.



4. යං බුද්ධ සෙට්ඨො පරිවණ්ණයි සුචිං - සමාධිමානන් තරිකඤ්ඤමාහූ
සාමාධිනාතේන සමොන විජ්ජති - ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතූ

පෙර කී පිළිවෙත් කොට 108 වරක් මතුරා සමන් මල් දාගැබක් සමීපයේ පුදනු.රෝග උපද්‍රව දුරුවේ.සමන් මල් මතුරා හරක් ගාලේ දමනු.ගවයෝ බෝවෙත්.එසේම 108 වරක් සපුමලට මතුරා රෙදිපිළි තිබෙන තැනද,වී කොටුවලද තබනු,එහි උපද්‍රව දුරුවේ.


5. යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා - චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිය්‍යා සුගතස්ස සාවකා - එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතූ

මෙයින් තුන්දොස් හිරකරන ලද දෙහි මතුරා කපනු.අනුන් හා යුක්ති බණන විට සිහිකර බණනු.දිනයි.රජුන් දැකීමට 108 වරක් තැඹිලි තෙල් මතුරා ගානු.


6. යෙ සුප්පයුත්තා මනසා දළ්හේන - නික්කාමිනො ගොතම සාසනම්හි
තෙපත්ති පත්තා අමතං විගය්හ - ලද්ධා මුදා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතූ

මෙයින් සහල් ගැරූ තැනකින් ගල්කැට 7 ක් ගෙන එක ගලට 7 බැගින් මතුරා ගෙයි සතර කොනේද,ගේ මැද්ද,ඉස්දොර පාමුලද තබනු.තමන්ගේ රහස්ද,රහසේ තැබූ බඩුද එලි නොවේ.
කුරුමිණියන් කෑ පත්‍රයක මෙය ලියා 108 වරක් පිරිත් කොට ලඟ තබා ගනු.වසංගත රෝග නොවැළඳේ.


7. යටින්දඛීලො පඨවිංසිතොසියා - චතුබ්භිවාතෙගි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි -යොඅරිය සච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතූ


8. යෙ අරිය සච්චානි විභාවයන්ති - ගම්භීර පක්ණ්ඤේන සුදේසිතානි
කිඤ්චාපිතෙ හොන්ති භුසප්පමත්තා - නතෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතූ

මෙයින් මීතෙලට 108 වරක් මතුරා ඇඟ ගානු.ශ්‍රියා වැඩිවේ.අමනුෂ්‍යයන් සම්බන්ධ භයක් ඇති වූ විට මෙයින් පිරිත් කරානු.සඳුන් මතුරා තිලක තියනු.නපුර දුරුවෙයි.


9. සහාවස්සදස්සන සම්පදාය - තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්චිතඤ්ච -සීලබ්බතංවාපියදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො - ඡචාභිඨානානි අහබ්බොකාතුං
ඉදම්පි සංඝෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු

මෙයින් 108 වර තෙල් මතුරා කකුලේ ගානු.වේදනා දුරු වී යයි.


10. කිඤ්චාපි සො කම්මං කරොති පාපකං - කායෙන වාචා උදචේත සාවා
අහබ්බො සො තස්ස පට්ච්ඡාදාය -අහබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සංඝෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු

මේ ගාථාව කියා කුඹුරේ සී සානු.ඌරෝ නොකත්.සොරුන්ගෙන් උපද්‍රව සිදු නොවේ.මෙයින් බෙහත් වලට මතුරා දෙනු.සියළු ආරක්ෂාවට යහපති.


11. වනප්ප ගුම්බේ යතා ඵුස්සිතග්ගෙ - ගිම්හාන මාසෙ පඨමස්මිං ගිම්හෙ
තථූපමං ධම්මවරං අදෙසයි -නිබ්බානගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු

මෙයින් 108 මතුරා පැන් පොවනු.ගර්භිනීහු වහා ප්‍රසූත කෙරෙත්.වී වලට මතුරා වපුරනු.අස්වැන්න වැඩිවේ.බෙගෙත් දෙනවිට මතුරා දෙනු.සුවය ඉක්මන් වේ.


12. වරො වරඤ්ඤූ වරදො වරාහරො - අනුත්තරො ධම්ම වරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු

මේ ගාථාවෙන් 108 වරක් වතුර මතුරා ඉසිනු.ඉපියන් මීයන් ආදී සතුන්ගෙන් උපද්‍රව නැතිවේ.පැනට පිරිත් කොට ළදරුවන් නාවනු.උපද්‍රව දුරුවේ.සිරුරේ ගඩු ඇතිවිට අතට 108 වරක් මතුරා පිරිමදිනු.සුව වේ.


13. ඛීණං පුරාණං නවංනත්ථි සම්භවං - චිරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණ බීජා අවිරුළ්හිච්ඡන්දා - නිබ්බන්ත් ධීරා යථායම්පදීපො
ඉදම්පි සංඝෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු

මෙයින් පිස්සු බල්ලන් කැවාට 108 වරක් මතුරා තෙල්ගානු.මෙයින් වතුර පිරිත් කොට ගෙයි ඉසිනු.උපද්‍රව දුරුවේ.ළදරුවන්ට රන්කිරි කට ගෑම්මේදී කිරට පිරිත් කරනු.

14. යානීධ භූතානි සමාගතානි - භුම්මානි වායා නිව අන්තලික්ඛෙ
තථාගතංන් දේව මනුස්ස පූජිතං - බුද්ධං නමස්සාමි සුවත්ථි හෝතු

යානීධ භූතානි සමාගතානි - භුම්මානි වායා නිව අන්තලික්ඛෙ
තථාගතංන් දේව මනුස්ස පූජිතං - ධ්ම්මං නමස්සාමි සුවත්ථි හෝතු

යානීධ භූතානි සමාගතානි - භුම්මානි වායා නිව අන්තලික්ඛෙ
තථාගතංන් දේව මනුස්ස පූජිතං - සංඝං නමස්සාමි සුවත්ථි හෝතු

මෙයින් මීමැස්මොරයට 108 වරක් තැඹිලි මතුරා සතියක් බොන්නට දෙනු.සියළු ආරක්ෂාවට නිති සිහිකරනු.


පිරිත් යනු බුද්ධ භාෂිත දේශනාය.ඉහත දැක්වූ පරිදි මෙය මන්ත්‍ර නොවේ.පිරිතේ බලය මන්ත්‍රබලය අබිබවයි.එසේ වන්නේ ප්‍රතිපත්ති සපුරා සත්‍යක්‍රියාකොට සඣ්ඣායනා කිරීමෙන් පමණි.උදව් ලබා ගත්තේ පිරුවාණා පොත් වහන්සේ ගෙනි.