වස්‌ පුරන්නට පහසු ගුණධර්ම (තෙළෙස්‌ ධුතාංග)

භික්‍ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස්‌ ධූතාංග උසස්‌ ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම ආරක්‍ෂා කර ඇති අතර, රහත් නොවූ භික්‍ෂූන් වහන්සේලා ද මෙම ගුණධර්ම කිහිපයක්‌ හෝ ආරක්‍ෂා කරමින්, පැවිදිs ජීවිතය ගත කරනු ඇත. විශේෂයෙන් බුදු සසුනේ සිටි මහ රහතන් වහන්සේලා අතුරින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත කතාව විග්‍රහ කිරීමේදී, මෙම සියලු ගුණධර්ම පිළිවෙළට ආරක්‍ෂා කළ බව සඳහන් වේ. සසර දුකින් ගැළවෙන්නට කැමැති, අමා මහ නිවන් දකින්නට කැමැත්තක්‌ දක්‌වන භික්‍ෂූන් වහන්සේලා සතර ඉරියව්වෙන්ම සිව්පසය පිළිබඳ පැවතිය යුතු අන්දම මෙම තෙළෙස්‌ ධූතාංගවලින් පෙන්වාදී ඇත. එම තෙළෙස්‌ ධූතාංග නම්, 01. පංශුකුලිකාංගය, 02. තෙචීවරිකාංගය, 03. පිණ්‌ඩපාතිකාංගය, 04. සපදාන චාරිකාංගය, 05. ඒකාසනිකාංගය. 06. පත්තපිණ්‌ඩිකාංගය, 07. ඛලුපච්ඡාභත්තිකාංගය, 08. ආරඤ්ඤිකාංගය, 09. රුක්‌ඛමූලිකාංගය, 10. අබ්භොකාසිකාංගය, 11. සොසානිකාංගය, 12. යථාසන්ථතිකාංගය, 13. නේසඡ්ජිකාංගය පංශුකුලිකාංගය පළමු ගුණාංගය වන්නේ පංශුකුලිකාංගයයි. එනම්. පාංශුකුල සිවුරු පරිහරණය කිරීමයි. පාරවල්, සොහොන්පලවල්, කැලි කසළ, ගොඩවල් ආදී අපිරිසිදුතැන්වලින් අහුලාගත් පස්‌, මඩ, කැලි කසළ තැවරුණු රෙදිවලින් සිවුරු සකස්‌ කරගෙන,ඒවා ඇඳීම. පෙරවීම මෙයින් පැහැදිලි කොට ඇත. භික්‍ෂු ජීවිතය වනාහි ඉතාම චාම්කමින් යුත්, කාටවත් හිරිහැරයක්‌ කරදරයක්‌ නැති, ලද දෙයින් සතුටු වන සැහැල්ලු ජීවිතයකි. විනය පිටකයට අනුව භික්‍ෂූන් වහන්සේගේ මහණකම කරුණු සතරක්‌ නිසා පැවතිය යුතු බව දේශනාකොට ඇත. විශේෂයෙන් උපසම්පදාව ලබන නවක භික්‍ෂූන් වහන්සේ නමක්‌ සීමා මාලකයේ දිවි හිමිකොට පවත්නා ලෙස අනුශාසනා ලබන මේ නිස්‌සය ධර්ම සතර මැනවින් ආරක්‍ෂා කළ යුතුය. තමන් වහන්සේට වෙනත් සිවුරු පිරිකර, දානමාන, ආවාස පන්සල්, බේත් හේත් ලැබෙනවා නම්, ඒවා පරිහරණය කළ යුත්තේ, අර මුලින් කියන ලද පංශුකුල (සිවුරු), පිණ්‌aඩපාත (භෝජන), වෘක්‍ෂමූල (සේනාසන), පූතිගත්ත (භේසඡ්ජ) යන හැඟීමෙනි. ධූතාංග පුරන භික්‍ෂූන් වහන්සේ එයම කළයුතු බව සඳහන් වේ. තෙචීවරිකාංගය දෙවැනි ගුණාංගය වන්නේ, තෙචීවරිකාංගයයි. එනම්, භික්‍ෂූන්ට ආවේනික දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳින සිවුරු, පමණක්‌ ඇඳීම, පෙරවීම කළයුතු බවයි. ජල ස්‌නානය කිරීමේදී පවා වෙනත් සිවුරක්‌, නානකඩයක්‌ හෝ පරිහරණය කිරීම නොකළ යුතුය. "චතුත්aථක චීවරං පටික්‌පාමි තෙචීවරිකාංගං සමාදියාමි" සතරවැනි සිවුරු ප්‍රතික්‍ෂේප කරමි, තුන් සිවුරු පමණක්‌ සමාදන් වෙමි, යන දේශනා පාඨයෙන් ඒ බව පැහැදිලි වේ. පිණ්‌ඩපාතිකාංගය තුන්වැනි ගුණාංගය වන්නේ පිණ්‌ඩපාතිකාංගයයි. එනම් පිඬු පිණිස වැඩමකොට ලැබෙන දානය මිසක්‌ වෙනත් කිසිම දානයක්‌ නොවැළඳීමයි. සිව්පසය තුළ අන්තර්ගත වන දෙවැනි කාරණය හැටියට හැඳින් වෙන්නේ ද පිණ්‌ඩපාතයයි. එනම්, ආහාරයයි. ජීවිතයක්‌ ආරක්‍ෂා වන්නේ ආහාරය තුළිනි. "සබ්බේ සත්ථා ආහාරට්‌ඨිතිකා" යනුවෙන් දැක්‌වෙන්නේ ද එයයි. එසේ වුවද, මෙහිදී සඳහන් වන්නේ, වෙනත් ක්‍රමයකින් ආහාර සොයා අනුභව කිරීමට උත්සාහ නොකර, පිණ්‌ඩපාතයෙන් වැඩමකොට, එයින් ලැබෙන දානය පමණක්‌ වළ¹, ජීවිතය ආරක්‍ෂා කර ගැනීමයි. සපදාන චාරිකාංගය- සතරවැනි ගුණාංගය වන්නේ සපදාන චාරිකාංගයයි. එනම්, ගෙපිළිවෙළින් පිඬු පිණිස වැඩම කිරීමයි. කිසිම හේතුවක්‌ නිසාවත්, කිසිම ගෙයක්‌ අත්හරින්නේ නැතිව පිණ්‌ඩපාතේ යාම මෙහි විශේෂත්වයයි. සාමාන්‍ය වශයෙන් පිණ්‌ඩපාතයේ යෙදීමේදී සමහර ගෙවල් පසුකොට යාම සිදුවේ. යම් යම් හේතූන් නිසා සමහර ගෙවල්වලට නොයනු ඇත. එසේ වුවද, එම ගුණාංගයෙහිs පිහිටි භික්‍ෂූන් වහන්සේ පිළිවෙළට සියලුම ගෙවල් හසුවන පරිදි පිණ්‌ඩපාතයේ ගොස්‌ එම ගුණාංගය ආරක්‍ෂා කරනු ඇත. ඒකාසනිකාංගය පස්‌වැනි ගුණාංගය වන්නේ ඒකාසනිකාංගයයි. එනම්, එක ආසනයක්‌ පමණක්‌ පරිහරණය කිරීමේ ගුණාංගයයි. මෙය සමාදන් වන භික්‍ෂූන් වහන්සේට විශේෂයෙන් දන් වැළඳීමේදී, එය අනුගමනය කිරීම දුෂ්කර කාර්යයක්‌ වන බැවින්. දාන ශාලාවේදී වෙනම ආසනයක්‌ වෙන් කර ගැනීම කළ යුතුය. මෙය සමාදන් වන්නේ "නානාසන භෝජනං පටිCපාමි ඒකාසනිකංගං සමාදියාමි" යන නොයෙක්‌ නොයෙක්‌ ආසන ඉවත් කරමි. එක ආසනයක්‌ පමණක්‌ පරිහරණය කරමි, යන ශික්‍ෂා පදයට අනුකූල වෙමිනි. පත්තපිණ්‌ඩිsකාංගය හය වැනි ගුණාංගය වන්නේ, පත්තපිණ්‌ඩිකාංගයයි. එනම්, පාත්‍රයේ පිඬු (ආහාර) පමණක්‌ වැළඳීමයි. දන් වැළඳීම සඳහා වෙනත් කිසිම පිඟානක්‌, කෝප්පයක්‌වත් නොගන්නා අතර, සෑම දේකටම පාත්‍රය පමණක්‌ යොදාගනු ඇත. මෙසේ වැළඳීමේදී, පාත්‍රයේ ඇති සියලු ආහාර ඉතිරි නොකොට වැළඳිය යුතුය. වැළඳීමට අපහසු දෙයක්‌, අකැමැති දෙයක්‌ තිබුණත් ඒ සියල්ල වැළඳීම මෙහි ඇති විශේෂත්වය වේ. එයින් පැහැදිලි වන්නේ, ඒ තරමටම එම ගුණාංගය ආරක්‍ෂා කිsරීම අපහසු බවයි. එසේ වුවද, මධ්‍යස්‌ථ සිතින් පාත්‍රයේ ඇති සියලු ආහාර වළ¹, මෙත් වැඩීම තුළින් සත්ත්වයාට යහපත කැඳවනු ඇත. බලුපච්ඡාභත්තිකාංගය හත්වැනි ගුණාංගය වන්නේ, බලුපච්ඡාභත්තිකාංගයයි. එනම් වළ¹ ඉතිරිවූ ආහාර හෝ වැළඳීම ප්‍රතික්‍ෂේaප කර ඇති ආහාර නොවැළඳීමයි. මුලින් ලැබුන දානමාන මිසක්‌, පසුව ලැබෙන දානමාන නොවැළඳීම මෙයින් පැහැදිලි වේ. එක්‌වරක්‌ මිස, දවසට දෙතුන් වරක්‌ වැළඳීමේ සිරිත මෙම ධූතාංග සමාදන් වන භික්‍ෂූන් වහන්සේලා තුළ කිසි මොහොතක නොමැත. ඒ අනුව බැලීමේදී මතඤ්ªතාවෙන් යුතුව, (ආහාර පමණ දැන) වැළඳීමක්‌ද සිදුකරනු ඇත. බණ භාවනා කිරීමේ පහසුවත්, සැහැල්ලු දිවි පැවැත්මත් උදෙසා මෙම ගුණාංගය ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් වේ. අරඤ්ඤිකාංගය අටවැනි ගුණාංගය වන්නේ අරඤ්ඤිකාංගය එනම්, ගම් පියසෙන් ඈත්ව ආරණ්‍යවල. වනාන්තරවල වාසය කිරීමයි. බුදුරජාණන් වහන්සේ දවස, වස්‌ කාලයේදී බොහෝ භික්‍ෂූන් වහන්සේලා කමටහන් රැගෙන බණ භාවනා කිරීම සඳහා වනාන්තරවලට ගොස්‌ උත්සාහ කිරීම සාමාන්‍ය ක්‍රමය විය. ඒ සඳහා ග්‍රාම්‍ය ප්‍රදේශවල වනාන්තර තෝරා ගන්නා ලද්දේ, පිණ්‌ඩපාතකර, පැවිදි ප්‍රවෘඡ්ජාව ගෙන යැමේ පහසුව තකාය. බුදුන් දවස භික්‍ෂූන් වහන්සේලා මේ අංග සමාදානයෙන් කටයුතු කළ බව දක්‌නට ලැබේ. ආරඤ්ඤිකාංගය සමාදන් වූ භික්‍ෂූන් වහන්සේ "ගාමන්තර සේනාසනං පටිCපාමි අරඤ්ඤකංගං සමාදියාමි" යන්නෙන් එය සමාදන් වූ ආකාරය පැහැදිලි වේ. වෘක්‍ෂමූලිකාංගය නවවැනි ගුණාංගය වන්නේ වෘක්‍ෂමූලිකාංගයයි. එනම්. ගසක්‌ මුල වාසය කිරීමයි. "අප්පානි චෙව සුලබානි ච තානිච අනවඡ්ජානි" යනුවෙන් අංගුත්තර නිකායේ, චතුත්ත නිපාතයේ දක්‌වා ඇත. රුක්‌ මුල්, සෙනසුන් ඉතා අඩු බවත්, ඉතා සුලභ බවත්, ඉතා හොඳ බවත්, බුදුරජාණන් වහන්සේ එහිදි දේශනා කොට ඇත. එදා බුදුන් දවස බහුතරයක්‌ භික්‍ෂූන් වහන්සේලා විශාල වෘක්‍ෂමුල යට බණ භාවනා කළ අයුරු නොයෙක්‌ කතා පුවත් තුළින් පැහැදිළි වේ. සමහරක්‌ වෘක්‍ෂයන් පාමුල මහා වර්ෂාවකට පවා නොතෙමී හිඳීමට පුළුවන්කමක්‌ ඇත. බුදුරජාණන් වහන්සේ ද බුදු විමට ඇසතු වෘක්‍ෂය තෝරා ගන්නට ඇත්තේද, එම සියලු කරුණු මුල් කරගෙන බව අපට සිතීමට පුළුවන. අබ්භොකාසිකාංගය දහවැනි ගුණාංගය වන්නේ, අබ්භොකාසිකාංගයයි. එනම්, එළිමහනේ වාසය කිරීමයි. භික්‍ෂූන් වහන්සේලා මුවන් මෙන් කිසි තැනක ඇල්මක්‌ නැතිව වාසය කරන බව සංයුක්‌ත නිකායේ වන සංයුත්තයේ දේශනාකොට ඇති බව දැක්‌වෙන්නේ, "මිගා විය අසංග චාරිනො අනිකෙකා විහරන්ති භිCඛුනො" ආදී වශයෙනි. රහතන් වහන්සේලා හා ඒ මගට පිවිසීමට වෙර දරණ පැවිදි උතුමන්ලා කිසිතැනකට ආසාවෙන් එක තැන අල්ලාගෙන ඇඳ බැඳ ගැනීමට උත්සාහ නොකරනු ඇත. එවැනි උතුමන්ලා කෙළෙස්‌ ඇති අය ඇලුම් නොකරන ගස්‌, ගල්, පර්වත, ගුහා වන දුර්ගා ආදී රමණීය ප්‍රදේශ තුළ බවුන් වඩමින්, සසරින් මිදීමේ මගට පිවිසෙනු ඇත. ඒ අනුව, කිසි තැනක ඇල්මක්‌ නොකරනු ඇත. සොසානිකාංගය එකොළොස්‌ වැනි ගුණාංගය වන්නේ සොසානිකාංගයයි. එම්, සොහොනක වාසය කිරීමයි. සොහොනක වාසය කිරීමේදී, එයින් සිදුවිය හැකි උවදුරු දුරු කර ගන්නට පන්සලේ ලොකු හාමුදුරුවන්ට, ගමේ රාළහාමිට කල් ඇතිව කියා තිබිය යුතු බව දැක්‌වෙනවා. රාත්‍රී කාලයේදී මිනිසුන් නින්දට පිවිසි පසු සොහොනට වඩින භික්‍ෂූන් වහන්සේ, එළිවෙන්නට පෙරාතුව සොහොනෙන් ආපසු පිටවිය යුතු බව සඳහන් වෙනවා. මෙම ගුණාංගය වැඩිපුරම අවශ්‍ය වන්නේ, මරණානුස්‌සති භාවනවා (මරණය පිළිබඳ) වැඩීමට බව වටහාගත යුතුය. යථාසන්ථිතිකාංගය දොළොස්‌ වැනි ගුණාංගය වන්නේ යථාසන්ථිතිකාංගයයි. එනම්. ලැබුණු දෙයින් සතුටුවීමේ ගුණාංගයයි. ඒ බව "යං ලද්ධං තෙන තුට්‌ඨබ්බං" යනුවෙන් දේශනා කොට ඇත. තමන්ට ලැබුණ සෙනසුනේම වැඩ වාසය කිරීම එයින් ගම්‍යමානවේ. ලැබුණු සෙනසුන කෙබඳු එක්‌ක වුවද, කරදර උවදුරු සහිත වුවද, පහසුකම් නැති වුවද, තුෂ්ණිම්භූතව පිළිගෙන, එහිම වාසය කිරීමේ ගුණයයි. මෙම ගුණාංගය ආරක්‍ෂා කරන භික්‍ෂූන් වහන්සේ වාසය කිරීම සඳහා වැඩි පහසුකම් නොසොයනු ඇත. තමන්ගේ එකම අභිමතාර්ථය වන්නේ සසරින් මිදීම බැවින්, ඒ සඳහා වැඩි සුවපහසු ස්‌ථාන, සේනාසන නොසොයනු ඇත. ලැබුණ ඕනෑම දුෂ්කර ස්‌ථානයක්‌ තුළ ඉඳිමින් වුවද, විමුක්‌තිය කරා ළඟා වීමට උත්සාහ කරනු ඇත. නේසඡ්ජිකාංගය අවසාන ගුණාංගය නොහොත් දහතුන් වැනි ගුණාංගය වන්නේ නේසඡ්ජිකාංගයයි. මෙම ගුණාංගය ආරක්‍ෂා කරන්නන් තුළ ඇති විශේෂත්ව වන්නේ, යාම් - ඊම්, ඉඳුම් හිටුම්, සැතපීම් යන සතර ඉරියව්වෙන් සැතපීම අත්හැර අනෙක්‌ ඉරියව් තුනෙන් පමණක්‌ කල්ගත කිරීමයි. එහිදී වාඩිවී සිටීම පමණක්‌ නොකළ යුතු අතර, සක්‌මන් කිරිම ද කළ යුතුය. චCඛුපාල තෙරුන් වහන්සේ නේසඡ්ජිකාංගය සමාදන්ව වස්‌ කාලය පුරා එය ආරක්‍ෂා කරන්නට උත්සාහ දැරීම නිසා නිදි නොලැබීමෙන් ඇස්‌ අන්ධ වූ බව ධම්ම පදට්‌ඨ කතාවේ සඳහන්වේ. උන්වහන්සේගේ ඇස්‌ රෝගයට ලැබුණු බෙහෙත් ඊට අදාළ අන්දමට ගන්නට මේ ධූතාංග සමාදානය නිසා නොහැකි විය. ඒ අනුව එහි බැරෑරුම් බව තේරුම් ගැනීමට පුළුවන. ඉහතින් සඳහන් කරන ලද මෙම තෙළෙස්‌ ධූතාංග සමාදන් වන භික්‍ෂූන් වහන්සේ, තමන් කිසිසේත්. කිසිවකුට තමන් වහන්සේ ධූතාංගයක්‌ සමාදන් වූ බවක්‌ අඟවන්නේ නැත. භික්‍ෂූන් වහන්සේලා දෙනමක එකට වැඩ වාසය කළත්, ඒ බවකාටවත් ඇඟවීමක්‌ කරන්නේ නැත. දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේ විනාශ කරන්නට ගත් සියලු උත්සාහ අසාර්ථක වීමෙන් පසුව උන්වහන්සේගෙන් ඉල්ලීම් පහක්‌ කළේය. එයින් හතරක්‌ම මේ ධූතාංගවලට අයත් වේ. මස්‌, මාලු නොවැළඳිය යුතු බව පමණයි. මෙයින් බැහැර කළ ඉල්ලීම වන්නේ, සියලුම භික්‍ෂූන් වහන්සේලා දිවි හිමියෙන් පංශුකූල චීවරධාරීව, පිණ්‌ඩපාතිකව, ආරණ්‍යගතව හා වෘක්‍ෂ මූලිකව ජීවත් විය යුතු බව ඉතිරි ඉල්ලීම් හතර වන්නේය. භික්‍ෂූන් වහන්සේලා එම ධූතාංග පිරීම නිසා පැහැදුන අයගේ වැඩි පැහැදීමත්. නොපැහැදුණන අයගේ පැහැදීමටත් වඩා වර්ධනය වේ. මෙයින් ලැබෙන තවත් ආනිශංසයක්‌ ලෙස අල්පේච්ඡතාව නොහොත් බොහෝ කැමැති නොවීමත් දැක්‌වීමට පුළුවන. එසේම, චාම්කම් මෙන්ම, විවේකීව වාසය කිරීමත්, කවර දෙයක්‌ කෙරෙහි වුවද ඇල්මක්‌, ආශාවක්‌ නැතිව වාසය කිරීමත්, තමන්ගේ අරමුණ ඉටු කර ගැනීමේ ඉමහත් උත්සාහයෙන් කටයුතු කිරීමත් මෙයින් සිදුවන තවත් කරුණු කිහිපයකි. භික්‍ෂූන් වහන්සේලාට මෙම ගුණාංග දහතුනම සමාදන් වීමට පුළුවන් වුවද, භික්‍ෂුණීන් වහන්සේලාට සමාදන් විය හැක්‌කේ අටක්‌ (8) පමණි. විනය නීතියට අනුව, ආරඤ්ඤිකාංගයන්, බලුපච්ඡාභන්තිකාංගයත් සමාදන් වීම තහනම් ය. එසේම අබ්භොකාසිකාංගය, රුක්‌ඛමූලිකාංගය හා සොසානිකාංගය භික්‍ෂූන්ට පිරීම අපහසු කාර්යයක්‌ වන්නේය. තේවීවරිකාංගයත් සාමණේරයන්ට තහනම් කොට ඇති නිසා, ධූතාංග දොළහක්‌ පමණක්‌ ආරක්‍ෂා කළ හැකිය. සික්‌ඛමානාවන්ටත්,සාමණේරයන්ටත් මෙයින් සම්පූර්ණ කළ හැක්‌කේ ධූතාංග හතක්‌ (7) පමණි. භික්‍ෂුණීන්ට පුරන්නට නුසුදුසු ධූතාංග පහෙන් (5) තේවීරවරිකාංගයත් හැර ඉතිරි හත පමණක්‌ පුරන්නට අවසර, හැකියාව තිබේ. සමස්‌තයක්‌ වශයෙන් ගත් කළ මෙම ගුණාංග දහතුනම උසස්‌ ගුණාංග වශයෙන් හැඳින්විය හැකි අතර, මෙම ගුණාංග වස්‌ කාලයට පමණක්‌ සීමා වුවක්‌ද නොවේ. පිරිය හැකි නම්, ඕනෑම කාලයකට සුදුසු වගේම ප්‍රතිඵල ලැබිය හැකි සංදෘෂ්ඨික විපාක ලබාදන ගුණධර්මයෝ වෙති. එසේ වුවද, වස්‌ කාලය තුළ මාස තුනක්‌ තිස්‌සේ එකතැනක වසන බැවින්, එම ගුණාංග වර්ධනය කිරීම ඉතා පහසු ය. භික්‍ෂුන් වන්සේලා මෙම ගුණාංග වඩා වර්ධනය කිරීමෙන්, ගිහි බෞද්ධයන්ටද සිව්පසයෙන් උපස්‌ථාන කොට, පුණ්‍ය ශක්‌තිය වඩා වර්ධනය කර ගත හැකිය. ඒ අනුව, උතුම් වස්‌ කාලය තුළ ගිහි පැවිදි දෙපක්‍ෂයේ ම පුණ්‍ය ශක්‌තිය වඩා වර්ධනය වන කාලය ලෙස හැඳින්විය හැකි අතර ඒ තුළින් නිවන් මග පාදා ගැනීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ද පිවිසිය හැකිය. අපි සැම දෙනෙක්‌ම මෙම උතුම් ගුණධර්ම වඩා වර්ධනය කොටගෙන මෙලොව පරලොව සැනසිලිදායක ජීවිතයක්‌ ගත කොට, අවසන උතුම් අමා මහ නිවන් සුවයද ලබා ගැනීමට උත්සාහ කරමු.

3 comments:

  1. විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්

    ReplyDelete
  2. මේ වස් වැසීම අවශ්‍ය වුයේ භික්ෂුන් බුදුන් වහන්සේ මෙන් සහ උන්වහන්සේ දුන් උපදෙස් අනුව නිරතුරුවම චාරිකාවේ යෙදෙමින් සිටි යුගයේ දී ය. දැන් භික්ෂුන් ඒ උපදෙස් ඉවත ලා නිඝන්ටයන් මෙන් ආරාම සහ සුඛෝපභෝගී ගෙවල් හදාගෙන ඒවායේ සැපට ජීවත් වෙයි. වැසි කලටත් වැසි නැති කලටත් හිසට හොඳ වහළවල් දැන් හදාගෙන ඇත. අද චීවරධාරීන් ඒවා අත්හැර චාරිකාවී තබා පිණ්ඩපාතයේ වත් යන්නේ නැත. ඉතින් දැන් මේ කටින පූජා කියා නටන්නේ බොරු නාඩගමක් නේද?

    ReplyDelete