අපි ගැන



ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරය.

සියනෑ කෝරළයට අයත් අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා රාජමහා විහාරය සුන්දර ස්ථානයකි. අතීතයේ බමුණන් විසූ බමුණුගම පසුව අමුණුගොඩ වූ බව එක් මතයකි. අමුණු රාශියක් පැවති හෙයින් අමුණුගොඩ වූ බවත් කුඩුමිරිස් නම් දුර්ලභ වැල් වර්ගය පැවතීම නිසා කුඩුමිරිසේ යන නම ව්‍යවහාර වන බවත් සඳහන් වේ.
කොස්සින්නේ සීලානන්ද හිමියන්ගෙන් ආරම්භ වූ මෙම විහාරස්ථානය වර්තමානය වන විට සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම වාගීශ්වරාචාර්ය විනය කීර්ති ශ්‍රී  අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් හා අමුණුගොඩ කුමාරදාස විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පරකන්දෙනියේ ධීරානන්ද හිමියන්ගේ කැපවීමෙන් සියනෑ කෝරළයේ ඇති වටිනාකමකින් යුක්ත පුණ්‍ය භූමියක් බවට පත්වී ඇත.
වත්මන් සඟ පරපුර සීලානන්ද හිමියන්ගෙන් ඇරඹුනද අතීතයේ මෙහි තාවකාලිකව භික්ෂුන් වහන්සේලා වැඩසිටි බව වාර්තා වෙයි. මෙම විහාස්ථානයේ පෞරාණිකත්වය පැරකුම්භා රාජසමය දක්වා දිවයන බව දැනට පිළිගැනෙන මතය වන නමුත් විහාරස්ථානයේ ඉතිහාසය ඊටත් වඩා ඈත අතීයට දිවයන බව විහාරස්ථානයේ සෙල්ලිපිය හා කටාරම් ආදිය සාක්ෂි දරයි.

වසර 600 කට වඩා පැරණි විහාරස්ථානයේ වැඩ හිඳිනා බෝධීන් වහන්සේ ප්‍රදේශයටම මහත් ආශිර්වාදයකි. විහාරස්ථානය කේන්ද්‍රව පවත්වාගෙන යන සුදුමල් බණ්ඩාර දේවාලය ද   ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය දිනාගත් ස්ථානයකි.

       1971 වර්ෂයේ දී පැරණි බුද්ධ මන්දිරය වෙනුවට ගල්ලෙන් බුද්ධ මන්දිරය ඉදි කොට ඇත. 1986 වර්ෂයේ ආරම්භ කළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු 1991 වර්ෂයේ නිමකොට එතැන් පටන් වාර්ෂික ජනවාරි පිංකම් මාලාව මේ දක්වා පවත්වාගෙන එනු ලබයි. අවසන වීථි සංචාරය කරන දුරුතු මහා පෙරහරින් අවසන් වන පිංකම් මාලාවට අසූ මහා ශ්‍රාවක පූජා, ධර්ම දේශනා මාලාව, ලේ දන්දීමේ වැඩසටහන, තිස්පෑ හතේ පරිත්‍රාණ ධර්මදේශනාව, දොරකඩ අස්න අනුශාසනාව, මහා සංඝයා වහන්සේ විෂයෙහි දානමය පුණ්‍යකර්මය ආදී සුවිශේෂී පිංකම් රාශියකින් යුක්ත වෙයි.

1993 වර්ෂයේ ආරම්භ කරන ලද සාමණේර පුහුණු ආයතනය වර්තමානයේ මුලූ ප්‍රදේශයේම ආගමික කටයුතු වලට මහත් වූ අත්වැලක් සපයන අතර අනාගත බුද්ධ ශාසනයට තුළ වටිනා සාමණේර හිමිවරු රාශියක් මේ වන විට ද බිහි කර හමාරය.
ප්‍රදේශයේ සිදු කරන සියලූම ආගමික සාමාජික කටයුතු වලදී අමුණුගොඩ පන්සල අත්‍යාවශ්‍යම විහාරස්ථානයක් බවට පත් වී ඇත. මෙවන් ස්ථානයක් බවට මේ පින්බිම පත්කිරීමට නායක හාමුදුරුවන්ට හා පොඩිහාමුදුරුවන්ට අත්වැලක් වන ශාස්ත්‍රපති ගෝනවල පියනන්ද, ශාස්ත්‍රවේදී කන්දෙයායේ දේවානන්ද, ශාස්ත්‍රවේදී කන්දෙයායේ විමලානන්ද යන හමිවරුන් ද මේ වන විට සුවිශාල ආගමික මෙහෙවරක් ඉටු කරමින් සිටියි.

දහම් පා දහම් පාසල



වසර 64 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප ‘දහම් පා’ දහම් පාසල ගැනද වචනයක් මෙම බ්ලොග් අඩවියට එක කිරීම කාලෝචිතයි.
වර්ෂ 1948 පැරකුම් රිවි දින දහම් පාසල යන නමින් ආරම්භ කරන ලදුව අද දක්වා අකණ්ඩව ප‍්‍රදේශයට හා ප‍්‍රදේශයේ  දරුවන්ට දහම් පා දහම් පාසල සිදු කරන්නේ ප‍්‍රශංසනීය මෙහෙයකි. දහම්පාව අද වන විට සිසු දරුවන් දහසකගේ පමණ දම් පිපාසය සංසිදුවන ධර්ම ප‍්‍රාසාදයක් බව කිව යුතුය. දැනුම පමණක් නොව ආකල්ප හා කුසලතා වර්ධනය වෙනුවෙන්ද දහම් පාසල තුළ විශාල කටයුතු රාශියක් සංවිධානය වී තිබේ. ශිෂ්‍ය සමිතිය, සිසු දරුවන්ගේ කථික, නිවේදන ගායන හැකියාවන් එළිදැක්වීමට දිරි දෙන දහම් පා උදා විකාශය, වාර්ෂික නිවාස තරග, දම් සරණිය බැති ගී සරණිය ඉන් කිහිපයකි. දහම් පා අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරගාවලියද මේ අතර වැදගත් තැනක් ගනියි.


මෙවන් සාර්ථක උත්සාහයන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් දහම් පා දහම් පාසල ගම්පහ ශාසනාරක්‍ෂක බලමණ්ඩලය තුළ අනෙකුත් ධර්ම විද්‍යාල වලට අභියෝගයක් එල්ල කරන දහම් පාසලක් බවට මේ වන විට පත්ව ඇති අතර වසර ගණනාවක් ප‍්‍රථම ස්ථානයේ රැදීසිටිමට සමත්ව ඇත.
1976 වර්ෂයේ දී දහම් පාසල් දිනය සදහා පැවති සමස්ථ ලංකා කෙටි නාට්‍ය තරගාවලියෙන් ප‍්‍රථම ස්ථානයට පැමිණීම දහම් පාසල අතීතයේ සිටම දැනුමෙන් හා කුසලතාවන්ගෙන් පිරි දරුවන්ගේ තෝතැන්නක් වූ බවට කදිම නිදසුනකි.

අතීතයේ සිට මේ දක්වාම දිනෙන් දින ක‍්‍රමවත් වෙමින් වර්ධනය වෙමින් පැමිණි දහම් පාසලට ශක්තියක් වුනේ දහම් පා ශිෂ්‍ය නායක මණ්ඩලයයි. 2003 වර්ෂයේ සිට ක‍්‍රමවත් මණ්ඩලයක් වශයෙන් ශිෂ්‍ය නායකයින් පත්කිරීම, දහම් පාසලේ කටයුතු වඩාත් පහසු කිරීමට සමත් වී තිබේ. ‘දහම් පා’ අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරගාවලිය,  බැති ගී සරණිය වැනි කටයුතු වලදී ශිෂය නායක නායිකාවන් සිදු කළ කටයුතු ප‍්‍රශංසනීයයි.
   දහම් පා පුණ්‍ය භූමිය තවත් චිරාත් කාලයක් ප‍්‍රදේශයට ආලෝකයක් වනු දැකීම අපේ අරමුණයි.